April 1, 2025

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකර ඇති පළාත් පාලන ආයතනවලට අදාළ සියලු මැතිවරණ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව, අභියාචනාධිකරණය හෙට(අප්‍රේල් 02) දක්වා එම පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ කටයුතු අත්හිටුවා ඇත.

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයන් සහ ස්වාධීන කණ්ඩායම් විසින් ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් සළකා බැලීමෙන් පසු අධිකරණ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී, පළාත් පාලන මැතිවරණය සඳහා නව නාමයෝජනා කැඳවීමට ඉඩ සැලසෙන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.

ඒ අනුව, 2023 දී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

මීට පෙර නාමයෝජනා ඉදිරිපත් කළ සමහරුන් මිය ගොස් ඇති අතර, සමහරුන් රට හැර යෑම හෝ පක්ෂ මාරු කිරීම හේතුවෙන් නව නාමයෝජනා කැඳවීමේ යෝජනාව ඉදිරිපත් කරන ලදී.

කෙසේවෙතත්, තීරණය අධිකරණයේදී අභියෝගයට ලක් කර තිබේ.