January 27, 2024

ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු (LNG) නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පැවැසීය.

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියා හවුස් හි පැවැති පිළිගැනීමේ උත්සවයකදී හෙතෙම මෙම අදහස් පළකළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන බවත්, මෑත වසරවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ආයෝජකයා ද වන බවත් ඔහු එහිදී පැවැසීය.

“2023 ජූලි මාසයේ සිට අපි යාපනය සහ චෙන්නායි අතර දෛනික ගුවන් ගමන් ආරම්භ කර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවා දියත් කර තිබෙනවා. නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයකට වඩා වැඩි අපනයන අවස්ථා ඉන්දියාවට විවෘත කළා සේම, ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම තුළින් අපගේ ආර්ථික හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන විභවයන් වැඩිදියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ආරක්ෂාව හෝ සංවර්ධනය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් අපගේ අවශ්‍යතා එකිනෙකට බැඳී තිබෙනවා” හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සහභාගී වූ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.

42.31%
17.27%
32.76%