September 2, 2024

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරටට පැමිණෙන විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ පැමිණිලි විමර්ශන කණ්ඩායම සොයා බලන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන සේනාරත්න මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ ඡන්දදායකයන්ට බලපෑම් කළ හැකි හෝ මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් වන ආකාරයේ ප්‍රකාශ කිරීමට කිසිවකුට ඉඩ නොතබන බවයි.

ඡන්දදායකයන්ට හෝ මැතිවරණ ක්‍රියාවලියට වාචිකව බලපෑම් කරන අයකු පිළිබඳ පැමිණිල්ලක් ලැබුණහොත් සිය විමර්ශන කණ්ඩායම නිසැකවම ඒ පිළිබඳ සොයා බලන බවත් අදාළ ප්‍රකාශය යම් තරමක බලපෑමක් ඇති කරන බැවින් ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

විමර්ශන කණ්ඩායම ඒවා හසුරුවන බැවින් සෑම විමර්ශනයක ප්‍රගතිය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස තමාට දැන ගැනීමට නොහැකි බවද ඔහු සඳහන් කරයි.

“මැතිවරණයට අදාළ මහජන පැමිණිලි විමර්ශනය කිරීමට වෙනම කණ්ඩායමක් සිටිනවා. ඔවුන් පැමිණිලි විභාග කර පොලිසියට පැමිණිලි යොමු කිරීම, ඇතැම් සහනාධාර බෙදාහැරීම අත්හිටුවීම වැනි සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන් මගේ මැදිහත්වීම සොයන්නේ බරපතළ කාරණයක් වූ විට පමණයි.” යනුවෙන් සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයන් නැවත මෙරටට පැමිණීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස වෛද්‍ය සේනාරත්න ප්‍රකාශයක් කර ඇති බවට ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගියදා චෝදනා කළේය.

විදේශගත ශ්‍රමිකයන් සැළකිව යුතු පිරිසක් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව සඳහන් කළ ඔහු කියා සිටියේ මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය සේනාරත්න අදහස් දක්වමින් “පසුගිය වතාවේ ජනතාව විසින් ජනාධිපතිවරයකු පත්කර ගත්තේ ජාතික ආරක්ෂාව ගැන පමණක් අවධානය යොමුකරමින්. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු රටම පීඩාවට පත්වුණා. එළැඹෙන මැතිවරණය ළං වන විට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන්න ඉඩ තිබෙනවා. ඔවුන් පැමිණ පිටව ගියත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ඉතිරිව සිටින්නේ ඔබ. විදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ඡන්දය දීමට අදහස් කරන්නේ නම්, එම පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙතනින් පස්සේ ආපහු යන්න එපා, කරුණාකරලා එන්න එපා.”යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.