June 5, 2024

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රජයට අයත්, එහෙත් අතුරුදන් වූ වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එලෙස අතුරුදන්ව ඇති මුළු වාහන සංඛ්‍යාව සහ එම වාහන ලබාදුන් රාජ්‍ය ආයතන හඳුනාගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පවසයි.

පසුගිය වසර කිහිපය තුළ ඇතැම් රාජ්‍ය ආයතනවලින් අතුරුදන් වූ බව කියන රුපියල් මිලියන ගණන් වටිනා රජය සතු වාහන 5000කට අධික සංඛ්‍යාවක් සොයාගැනීමේ අවශ්‍යතාව ජාතික විගණන කාර්යාලය මගින් පසුගියදා අවධාරණය කෙරිණි.

අස්ථානගත වූ මෝටර් රථ තිබූ ස්ථාන සහ ඒවා අස්ථානගතවීම සම්බන්ධයෙන් සිදුවිය හැකි අක්‍රමිකතා පිළිබඳව අදාළ බලධාරීන් සහ දෙපාර්තමේන්තු පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස විගණන කාර්යාලය උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් The Morning කළ විමසීමකදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පවසා ඇත්තේ, අතුරුදන් වූ වාහන හඳුනාගැනීම සඳහා දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

වාහන සැළකියව යුතු සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා සිදු කළ විගණනයකින් පසුව මෙම ගැටලුව පිළිබඳව අවධානය යොමුකළ බවද ඔහු පැවසීය.

එම අමාත්‍යාංශයේ ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනවලදී මූලික වශයෙන් අවධානය යොමු වූ අතර සෑම ආයතනයක්ම පාහේ ආවරණය වන පරිදි පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ, ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන රැසක්ද අතුරුදන් වූ වාහන ලෙස හඳුනාගෙන ඇති බව අනාවරණය කර තිබේ.

එම තොරතුරු හැකි ඉක්මනින් අදාළ බලධාරීන්ට වාර්තා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

පසුගියදා නිකුත් කරන ලද විගණන පරීක්ෂණ වාර්තාවකින් අනාවරණ වුණේ අතුරුදන් වූ වාහනවල අවසන් භාරකරුවන් හඳුනාගැනීමට එම රජයේ වාහන භාරදීමේ සටහන් සහ වාර්තාගත ලේඛන ප්‍රමාණවත් බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1,115ක් ඇතුළු වාහන 1,794ක් එම අමාත්‍යංශය සන්තකයේ නොමැති බව පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව පසුගියදා නිරීක්ෂණය කළේය.

42.31%
17.27%
32.76%