October 23, 2023

විදේශ ශ්‍රමිකයන් දිරිගැන්වීම සඳහා ලබා දී තිබූ ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වීමේ බලපත්‍ර අවභාවිත කරමින් ගෙන් වූ බවට සැකකෙරෙන වාහන 07ක් රේගු භාරගයට ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදෙන්නේ අලෙවි කළ බවට සැකකෙරෙනව වාහන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

අදාළ අවසරය ලබා දී තිබූ දිනයේ සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ රථ වාහන 119ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර ඉන් 75ක්ම එකම ආයතනයක් මගින් ආනයනය කර ඇත.

මේ හේතුවෙන් රජය අහිමි කරගත් ආදායම රුපියල් බිලියන 35ක් පමණ වන බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදෙයි.

වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම, අන්සතු කිරීම, නියමිත පරිදි බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සහ අදාළ රථ වාහන ආයනය කර ඇත්තේ සැබැවින්ම විදේශ ශ්‍රමියකන්ගේ මුදල්වලින් ද යන කරුණු හතර ඔස්සේ මේ වන විට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව හෙතෙම පවසයි.

මේ අතර,මේ දක්වා ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවාදමන ලෙස මධ්‍යසාර සමාගම් වෙත අවසන් නිවේදනය ලබාදුන් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ, තව දුරටත් මධ්‍යසාර සමාගම් වෙත බදු සහන ලබාදෙන බවට විපක්ෂ නායකවරයා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේ, වසර 10ක පමණ සිට ගෙවාදැමීමට ඇති හිග බදු පවා මේ යටතේ අයකර ගැනීමට නියමිත බවයි.

එසේ නොමැතිව කිසිදු පාර්ශ්වයකට බදු සහන ලබාදීමේ කිසිදු සූදානමක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

42.31%
17.27%
32.76%