September 17, 2024

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න තුනට සමාන ප්‍රශ්න තුනක් අන්තර්ජාලයට ඇතුළත් කර තිබූ ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍රයක ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙට (18) පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රශ්න ඇත්ත වශයෙන්ම එවැනි කාන්දු වීමක් සිදුව ඇති බවට විමර්ශනවලින් අනාවරණය වුවහොත් ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලියේදී මෙම ප්‍රශ්න නොසළකා හරින බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න තුනක් ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ ගුරුවරයකු විසින් සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් සිදුකළ බව ඔහු කියා සිටියි.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව සාකච්ඡාවක් සඳහා අද කැඳවා තිබූ අතර, ඊට අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් හෙට (18) අදාළ ප්‍රදේශයට පැමිණෙන බවත් ඔවුන්ගේ වාර්තාව ලැබුණු පසු අවසන් තීරණයක් ගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.