42.31%
17.27%
32.76%
August 15, 2024

තණමල්විල ප්‍රදේශයේ අවුරුදු දහසයක පාසල් දැරියක සිසුන් 21 දෙනකු විසින් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරිය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ වෛද්‍යවරයකු බැණ තර්ජනය කොට දැරිය මානසික පීඩනයට ලක්කළ බවට දැරියගේ මව විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කළ බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂිකා අයන්ති ජයවර්ධන සඳහන් කළාය.

එම පරීක්ෂණය රෝහල් මට්ටමින් ක්‍රියාත්මක බව අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට ලක් වූ දැරියගේ මව ළමා ආරක්ෂණ අධිකාරියට සහ තණමල්විල පොලිසියට පැමිණිලි කර ඇති අතර දැරියගේ මව ජනමාධ්‍යයට මෙලෙස සඳහන් කළාය.

“මගේ දරුවා කටඋත්තරයක් ගන්න හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මුල් වචන දෙක තුනෙන්ම දරුවාට තර්ජනය කරලා මහ හයියෙන් කඩාගෙන පැන්නා.

තමුසෙ බොරු කිව්වොත් පරිවාසයට දානවා කිව්වා.

තමුසෙ හදන්නේ කොල්ලන්ව හිරේ දාන්නද කියල අඟලා අත උස්සලා දරුවට ගහන්න හැදුවා.

මම දරුවට ගහන්න එපා කිව්වම මටත් ගහන්න අත ඉස්සුවා.

ඉතින් දරුවා හොඳටම බයවුණා.

පැය දෙකක් පමණ ප්‍රශ්න කළා.

ඒ අතරේ දරුවා විනාඩි දෙකකට වගේ කීපවතාවක් මට එළියට දුන්නා.

ඒ හැම වෙලාවකම දරුවා උඩ තට්ටුවෙන් පනින්න දුවගෙන ගියා.

මම දරුවා අල්ලගත්තා.

මේවට දරුවා බයවෙච්ච නිසා පොලිසියට දීපු කටඋත්තරෙත් වෙනස් වුණා” යනුවෙන් මව ජනමාධ්‍යයට සඳහන් කළාය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරි දිල්හානි අමරසිංහගෙන් කළ විමසීමකදී සඳහන් කළේ වෛද්‍යවරුන් හැටියට කිසිවිටෙකත් අපයෝජනයට ලක් වූ දැරියක් බිය ගැන්වීමක් සිදුනොකරන බවය.

දැරියගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ තමාද ඊට ආසන්නයේ සිටි බවත් පැවසුවාය.

සිසුන් දාහත්දෙනකුට වැඩි සමූහ දූෂණයක් නිසා හාරවුස්සා ප්‍රශ්න කිරීම වෛද්‍යවරයා සතු වගකීමක් බවද සඳහන් කළ වෛද්‍යවරිය දැරිය උඩ තට්ටුවෙන් පහළට පැනීමට උත්සාහ කළා නම් වහාම දැරිය මානසික වෛද්‍යවරයකුට යොමු කිරීමට කටයුතු කරන බව සඳහන් කළාය.

එවැනි කිසිදු තත්ත්වයක් එම අවස්ථාවේ සිදුනොවූ බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

දැරිය අතවරයට ලක්වීමෙන් පසු මව විසින් මොණරාගල මානසික වෛද්‍ය සායනය වෙත දැරිය යොමුකර ඇති අවස්ථාවේ මෙම සිද්ධිය පොලිසියට හෝ අධිකරණයට දැනුම් දුනහොත් මව සියදිවි හානිකර ගන්නා බව මොණරාගල වෛද්‍ය සායනයට පැවැසූ බවට වාර්තා වී ඇති බවත්, තම වරද වසන්කර ගැනීම සඳහා ද්වේෂසහගත ලෙස මෙම ප්‍රකාශය මව විසින් සිදුකරන්නට ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කීය.

(මව්බිම)

42.31%
17.27%
32.76%