March 7, 2025

හිටපු ආණ්ඩුවේ ප්‍රකට අමාත්‍යවරයකු ඇතුළු ඇතැම් ප්‍රධාන හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ යැයි කියන කුමන්ත්‍රණයක් පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් අනාවරණ කර තිබේ.

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙසට උසාවි නියෝග ලබාදීමට දින දෙකකට පෙර, හිටපු අමාත්‍යවරයකුට අයත් ව්‍යාපාරික ස්ථානයක පැවැති රැස්වීමක් පිළිබඳ ආණ්ඩුව දන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රශ්න කළේය.

“මෙය බරපතළ ප්‍රශ්නයක්. හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් (විශ්‍රාමික) චූලා රත්නසිරි කොඩිතුවක්කු සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මෙම රැස්වීමට සහභාගී වී සිටියා.”

හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබූ නමුත් ඔහුට ඊට සහභාගී වීමට නොහැකි වූ නිසා ඔහුගේ සමීපතම හිතවතා වන ඉනියභාරතී එම සාකච්ඡාවට සහභාගි වූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් වැඩිදුරටත් පැවසීය.

“ඉනියබාරතී නවාතැන් ගත්තේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක. ඔහුව කැඳවාගෙන ආවේ සුදා නම් පුද්ගලයකු විසින්. ඉනියබාරතී යනු මිනීමැරුම් ඇතුළු අතීත අපරාධ රැසකට සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයෙක්. පිල්ලෙයාන් ගැනත් විස්තර තියෙනවා.”

පාතාලයේ නායක ගණේමුල්ලේ සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරිය සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට තවමත් නොහැකිව තිබියදීත් ආණ්ඩුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව පවසන්නේ දැයි මන්ත්‍රී ශානකියන් ප්‍රශ්න කළේය.