February 5, 2024

වීඩියෝ ඇමතුමකදී ඩීප්ෆේක් තාක්ෂණය භාවිත කරමින් බහුජාතික සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස පෙනී සිටි වංචාකරුවකු එම සමාගමේ මූල්‍ය සේවකයකු රවටා අමෙරිකානු ඩොලර් මිලියන 25කට ආසන්න මුදලක් ලබාගැනීමේ පුවතක් හොංකොං වෙතින් වාර්තා වේ.

ඩීප්ෆේක් යනු පුද්ගල මුහුණු හෝ රූප කෘත්‍රිම බුද්ධිය භාවිත කර වෙනස් කිරීමේ තාක්ෂණයකි.

හොංකොං පොලිසියට අනුව වංචාකරු වීඩියෝ සම්මන්ත්‍රණ ඇමතුමකට පැමිණ ඇත්තේ සමාගමේ තවත් සේවකයන් කිහිප දෙනෙකු සමග පෙනී සිටිමින් වන අතර එම සේවකයන් ද ඩීප්ෆේක් තාක්ෂණය භාවිත කරමින් සැකසූ රූප බව පසුව අනාවරණ වී තිබේ.

අදාළ සමාගමේ එක්සත් රාජධානියේ ප්‍රධාන මූල්‍ය නිලධාරියාගෙන් යැයි කියනු ලබන විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලැබීමෙන් පසු සිද්ධියට මුහුණදුන් මුල්‍ය සේවකයාට පළමුව සැකයක් මතුව තිබේ.

මුලදී, සේවකයා එය ව්‍යාජ විද්‍යුත් තැපෑලක් බවට සැක කර ඇත්තේ රහසිගත ගනුදෙනුවක් සිදු කිරීමේ අවශ්‍යතාව ගැන එහි සඳහන් කර තිබී ඇති බැවිනි.

කෙසේවෙතත්, තමන්ට පැවති සැකය මෙම සේවකයා පසෙකට දමා ඇත්තේ වීඩියෝ ඇමතුමෙන් පසුවය.

ඊට හේතු වී ඇත්තේ වීඩියෝ සම්මන්ත්‍රණ ඇමතුම සඳහා පැමිණ සිටි අනෙක් පුද්ගලයන් තම සමාගමේ සගයන් බවට පෙනුමෙන් හා හඬින් ඔහු විසින් හඳුනාගැනීම නිසාය.

ඇමතුමේ සිටින අනෙක් සියලුදෙනා සැබෑ යැයි විශ්වාස කරමින්, සේවකයා හොංකොං ඩොලර් මිලියන 200ක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 25.6ක් පමණ ප්‍රේෂණය කිරීමට එකඟ වී ඇති බව හොංකොං පොලිසිය පැවසීය.

මෙම නඩුව මෑත කාලීනව වාර්තා වූ සිදුවීම් කිහිපයකින් එකක් වන අතර, වංචාකරුවන් මුදල් වංචා කිරීම සඳහා වීඩියෝ සහ වෙනත් දර්ශන වෙනස් කිරීමට ඩීප්ෆේක් තාක්ෂණය භාවිත කර ඇතැයි විශ්වාස කෙරේ.

හොංකොං පොලිසිය පැවසුවේ එවැනි වංචා සම්බන්ධයෙන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හිමිකරුවන් විසින් නැතිවූ බවට වාර්තා කර ඇති හොංකොං හැඳුනුම්පත් අටක් ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.

පසුගිය වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ ණය අයදුම්පත් 90ක් සහ බැංකු ගිණුම් ලියාපදිංචි කිරීම් 54ක් සඳහා එම හැඳුනුම්පත් භාවිත කර ඇති බව පොලිසිය පැවසීය.

අවම වශයෙන් අවස්ථා 20කදී, හැඳුනුම්පත්වල දැක්වෙන පුද්ගලයන් අනුකරණය කරමින් මුහුණු හඳුනාගැනීමේ වැඩසටහන් රැවටීමට ඩීප්ෆේක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කර ඇති බව ද පොලිසිය පවසයි.

මෙම සිදුවීමේ දී ව්‍යාජ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සම්බන්ධ වංචාව අනාවරණය වී ඇත්තේ එම සේවකයා පසුව ආයතනයේ ප්‍රධාන කාර්යාලය සමඟ පරීක්ෂා කළ විට පමණි.

හොංකොං පොලිසිය අදාළ සමාගම හෝ සේවකයාගේ නම හෝ විස්තර හෙළිකර නැත.

ලොව පුරා සිටින බලධාරීහු තාක්‍ෂණයේ නවීනත්වය සහ එය භාවිත කළ හැකි නරක ආකාර පිළිබඳ මේ වනවිට වඩ වඩාත් සැළකිලිමත් වෙමින් සිටිති.

කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණයෙන් එල්ල වන හානිදායක අවස්ථා අවධාරණය කරමින් කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණයෙන් සකස්කළ අමෙරිකානු පොප් තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ අසභ්‍ය රූප සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය ආකාරය ජනවාරි මාසයේ දී වාර්තා විය.