October 12, 2023

ශ්‍රී ලංකාව චීනයේ අපනයන-ආනයන බැංකුව (චීන එක්සිම් බැංකුව) සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත.

ප්‍රතිපත්තිමය වශයෙන් මෙම ගිවිසුම මගින් ඩොලර් බිලියන 4.2 ක හිඟ ණය ප්‍රමාණයක් ආවරණය වන බව මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.

“එය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රධාන පියවරක් වන අතර එය කඩිනම් ආර්ථික ප්‍රකෘතියකට මග පාදනු ඇත” යනුවෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනට අනුකූලව රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉලක්කය/අරමුණට අනුකූලව අන්‍යෝන්‍ය කැපවීමක් පෙන්නුම් කරන ප්‍රතිපත්තිමය වශයෙන් මෙම ගිවිසුමට එළඹීම සඳහා චයිනා එක්සිම් බැංකුවේ සහයෝගය සහ අඛණ්ඩ කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රශංසා කරන බවද මුදල් අමාත්‍යංශය පවසයි.

මෙම ‘සුවිශේෂී ජයග්‍රහණය’ මගින් බැඳුම්කර හිමියන් ඇතුළු නිල ණය හිමියන්ගේ කමිටුව සහ වාණිජ ණය හිමියන් සමඟ ඔවුන්ගේ අඛණ්ඩ සබඳතාවයට ශක්තිමත් කරනු ඇතැයි ශ්‍රී ලංකා බලධාරීන් බලාපොරොත්තු වේ.

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව මේ මොහොතේ චීනයෙන් ලබාගෙන ඇති ණය තොගයෙන් ඩොලර් බිලියන 07කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය කරගත යුතුව ඇත.