February 20, 2025

කොළඹ අධිකරණ සංකීර්ණය තුළ පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ සැකකරු රැගෙන ගිය නීතිඥ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පොලිසිය විසින් සොයාගනු ලැබූ එම නීතිඥ හැඳුනුම්පත, සිය සංගමයේ නියෝජිතයන් විසින් පරීක්ෂා කර ඇති බව නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සංගමයේ දත්ත සමඟ හරස් පරීක්‍ෂා කිරීමේදී, මෙම නීතිඥ හැඳුනුම්පතේ නම් කර ඇති පුද්ගලයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයකු නොවන බවත්, හැඳුනුම්පත ව්‍යාජ ලියාපදිංචි අංකයක්, ශ්‍රේෂ්ඨාධිකරණ අංකයක් සහ QR කේතයක් භාවිත කර සකස් කර ඇති බවත් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් නීතිඥ හැඳුනුම්පත ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද එකක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය තවදුරටත් පැහැදිලි කරයි.

අත්අඩංගුවට ගත් නීතිඥ හැඳුනුම්පතේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයාගේ අත්සන වෙනත් ස්ථානයක තබා ඇති බවතේ එම සංගමය පෙන්වාදෙයි.

ව්‍යාජ හැඳුනුම්පතේ සඳහන් පරිදි සැකකරු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයකු නොවන බවත් එම සංගමය පවසයි.

ඊයේ අධිකරණයේ පෙනීසිටි අවස්ථාවේදී, නීතිඥයකු ලෙස වෙස්වලාගත් පුද්ගලයෙකු විසින් පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

වෙඩි තැබූ පුද්ගලයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තැබීමට සහාය දුන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.