April 8, 2024

පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය විසින් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී අද උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කෝප්‍රල්වරයකු මියගොස් තිබේ.

පොලිසිය පවසන්නේ පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් මොරගහහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙම පුද්ගලයා බවට සැකකරන බවයි.

අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමක් අතරතුර මුරපොළක නතර කරන ලෙස කළ නියෝගයක් ඔහු නොසළකා හැර ඇති බව වාර්තා වේ.

මේ පුද්ගලයා එම සිද්ධිය වන අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිට තිබේ.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයා පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි.

අනතුරුව පොලිසිය විසින් නැවත වෙඩි තැබීමත් සමඟ යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මේ අතර, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් දී ඇති බවයි.

මූලික සොයාගැනීම්වලින් පෙනීගස් ඇත්තේ ගුවන් හමුදා කෝප්‍රල් සහ මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බවයි.

පොලිසියේ තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා සිද්ධිය වන අවස්ථාවේ රාජකාරියෙන් බැහැරව සිට ඇත.

සාපරාධී ක්‍රියාවලට තම සෙබළුන්ගේ සම්බන්ධයක් ඇත්නම් එය බරපතළ ලෙස සළකන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත් ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%