October 24, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ලොව බොහෝ රටවල් හඳුනාගෙන ඇති බවත්, ශ්‍රී ලංකාවටද එවැනි අධිකාරියක අවශ්‍යතාව මතුව ඇති බවත් රජය ප්‍රකාශ කරයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම පද්ධතියක් සැකසීමේ සහ අධීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමේ මූලික කෙටුම්පත සම්බන්ධයෙන් කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ අදහස් ලබාගැනීමට ඇමැති මණ්ඩලය අවසර ලබාදී තිබේ.

කථානායකවරයාගේ සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ අදහස් සැළකිල්ලට ගෙන පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් ලබාදීමට ද ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

රජය ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතා විශ්වාසය වැඩි කිරීමේ අරමුණින් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම සුදුසු බවයි.

42.31%
17.27%
32.76%