October 27, 2023

දෙමළ ප්‍රජාවට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ කළ බව කියන අම්පිටියේ සුමන හිමියන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රශ්න කරයි.

දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ, සුමන හිමියන් පසුගිය දිනවල ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශ කිහිපයක්ම කර ඇති බවයි.

“දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානකියන් රසමාණික්කම් මහතාට සුමන හිමියන් දිගින් දිගටම පහර දී ඇති අතර, දකුණේ වෙසෙන සියලුම දෙමළ ජනතාව කෑලිවලට කපාදමන බව පවසමින් ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමටත් සුමන හිමියන් කටයුතු කර තිබෙනවා.” යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වාදී ඇත.

සුමන හිමියන්ගේ ප්‍රකාශ රට තුළ ප්‍රචණ්ඩත්වය, වාර්ගික හා ආගම් අතර වෛරය ඇතිකිරීමේ අරමුණින් සිදුකෙරෙන බවත්, පූජ්‍ය හිමියන්ට එරෙහිව පොලිසිය වහා පියවර නොගන්නේ මන්දැයි යන්න ගැටළුවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ අතර සුමන හිමියන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ද ප්‍රශ්න කර තිබේ.

සිය X ගිණුම හරහා සුමන හිමියන්ගේ ප්‍රකාශයක් දැක්වෙන වීඩියෝවක් ප්‍රචාරය කරන මන්ත්‍රීවරයා පවසන්නේ, සුමන හිමියන් වාර්ගික වෛරය සහ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට කටයුතු කරමින් සිටින බවයි.

 

 

 

42.31%
17.27%
32.76%