December 22, 2023

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අමිත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පසුගියදා පොලිසිය විසින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටළීමකදී ඔහු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව මෙම තීරණය ගත් බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි.

හෙරොයින් ග්‍රෑම් 778. 26ක් සමඟ අමිත බණ්ඩාර 19 වැනි අඟහරුවාදා කෑගල්ල අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මහව මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ජීප් රථයක්, මෝටර් රථයක්, විදුලි තරාදියක්, බැංකු කිහිපයකින් නිකුත් කළ චෙක්පත්, බැංකු කාඩ්පත්, බැංකු ගිණුම් පොත් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අමිත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති අතර, ඔහු කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ද ඉවත් කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසයි.

අද පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීමට නියමිතව තිබේ.

42.31%
17.27%
32.76%