October 24, 2024

ආරුගම් බොක්ක ප්‍රදේශයේදී ඊශ්‍රායල සංචාරකයන්ට එල්ල විය හැකි තර්ජන පිළිබඳව ඔක්තෝබර් 07 වැනිදාට තොරතුරු ලැබී තිබියදීත් වත්මන් ආණ්ඩුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කාංචන විජේසේකර කනස්සල්ල පළකර තිබේ.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් කාංචන විජේසේකර ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රහාර එල්ල විය හැකි තොරතුරු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව රජය විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් නොකිරීම ගැටලුසහගත බවයි.

“ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය කිසිවිටෙක සැහැල්ලුවට නොගත යුතු අතර, සංචාරක ආදායම රටේ වැදගත්ම ආදායම් මාර්ගයක් වේ” යනුවෙන් කාංචන විජේසේකර එහි දක්වා තිබේ.

රජයට කළින්ම තොරතුරු ලැබී තිබුණේ නම් සහ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කළේ නම්, ගත් පූර්වාරක්‍ෂාවන් සමඟ සංචාරක උපදේශන පිළිබඳ විදෙස් අනතුරු ඇඟවීම වළක්වාගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වාදෙයි.

“ආණ්ඩුව අවම වශයෙන් දැන්වත් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා, ගෙන ඇති පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කර ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශන ඉවත් කිරීමට විදේශ දූත මණ්ඩල සමඟ කටයුතු කළ යුතුය,” හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවා ඇති බවට විශ්වාස කළ හැකි තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය එහි පුරවැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු මෙම අදහස් පළකළේය.

42.31%
17.27%
32.76%