December 14, 2023

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ලබාදෙන දෙවැනි ණය වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සතුට පළකර තිබේ.

මෙම දෙවැනි වාරිකයේදී ශ්‍රී ලංකාවට IMF වෙතින දළ වශයෙන් ඩොලර් මිලියන 337ක අරමුදල් සැපයෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ පළමු විස්තීරණ අරමුදල් පහසුකම් සමාලෝචනය අවසන් කිරීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් ලැබෙන ධනාත්මක ප්‍රවෘත්ති අපි සාදරයෙන් පිළිගනිමු. එය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්තිවලට සහාය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට භාවිත කිරීමට ඩොලර් මිලියන 337ක් පමණ ප්‍රවේශය ලබාදෙයි ” යැයි පවසමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මෙම ප්‍රවෘත්තිය සාදරයෙන් පිළිගෙන ඇත.

අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින්, රටේ ප්‍රගතිය සඳහා තිරසාර ප්‍රතිසංස්කරණ සහ වැඩිදියුණු කළ පාලනයක අඛණ්ඩ වැදගත්කම ද ඇය අවධාරණය කර තිබේ.

ආර්ථික ස්ථාවරත්වය සහ සෞභාග්‍යය කරා යන ගමනේදී ශ්‍රී ලංකාවට සහාය වීමට එක්සත් ජනපදයේ කැපවීමද තානාපති චුන්ග් තහවුරු කර තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාස 48 විස්තීරණ අරමුදල් පහසුකම යටතේ පළමු සමාලෝචනය බදාදා අවසන් කිරීම ශ්‍රී ලංකාවට සැළකිව යුතු මූල්‍ය ශක්තියක් සනිටුහන් කළේ, එහි ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා ඩොලර් මිලියන 337ක ප්‍රවේශයක් ලබාගත් බැවිනි.

ජූනි මස අවසන් වන විට බොහෝ කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ඇති බව සඳහන් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සතුටුදායක කාර්ය සාධනය පිළිගත්තේය.

42.31%
17.27%
32.76%