January 26, 2024

එක්සත් ජනපද රසායන විද්‍යාඥවරියක වන මිෂෙල් ෆ්‍රැන්ක්ල් විසින් තේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන මතයක් එක්සත් රාජධානිය තුළ මතභේදයකට හේතුවී ඇති බව වාර්තා වේ.

මිෂෙල් ෆ්‍රැන්ක්ල් සිය “Steeped: The Chemistry of Tea” කෘතිය මඟින් හෙළිකර තිබුණේ තේවලට ලුණු ස්වල්පයක් එකතු කිරීමෙන් තේවල තිත්ත රසය අඩු කර ගත හැකි බවයි.

රාජකීය රසායන විද්‍යා සංගමය විසින් බදාදා දිනයේ ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය තුළින් වසර 1,000කට වඩා පැරණි තේ සෑදීමේ පිළිවෙත් ලේඛනගත කර ඇත.

තේ පානය යනු බ්‍රිතාන්‍යයන් නිවසට පැමිණි පසු බොහෝවිට කරන පළමු දෙයයි.

එම තේ කෝප්පය සාදා ගැනීම සඳහා පෙන්සිල්වේනියාවේ රසායන විද්‍යා මහාචාර්යවරියක කරන යෝජනාව බ්‍රිතාන්‍ය මාධ්‍ය සිරස්තල ලබාදෙන තරම් මාතෘකාවක් බවට පත්කර ගෙන ඇත.

ඒ අනුව ලන්ඩනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ද ඒ සම්බන්ධයෙන් මැදිහත්වී ඇත.

එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ පිළිබද ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, “තේ යනු මිත්‍රත්වයේ අමෘතයයි. අපේ ජාතීන් එක්සත් කරන පූජනීය බැඳීමකි. එබැවින් ජාතික පානයට ලුණු එකතු කිරීම එක්සත් ජනපදයේ නිල ප්‍රතිපත්තිය නොවේ,” යනුවෙනි.

එසේම, තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කළේ, එහි කාර්ය මණ්ඩලය නියම ආකාරයෙන් තේ සෑදීම දිගටම කරගෙන යනු ඇති බවයි.