March 25, 2025

කිසිදු ආධාරකයක් නොමැතිව කඳු දෙකක් අතර කිලෝමීටරයකට වඩා වැඩි දුරක් ක්‍රියාත්මක වන කේබල් කාර් ව්‍යාපෘති ලෝකයේ දුර්ලභය.

කෙසේවෙතත් මෙම වසර අවසන් වීමට පෙර මෙරට ජනතාවට මෙම දුර්ලභ අවස්ථාව අත්විඳීමේ අවස්ථාව උදාවනු ඇතැයි වාර්තා වේ.

අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණය අතර ගම්පොළ අම්බුළුවාව කඳු මුදුන දක්වාත් එතැන් සිට අම්බුළුවාව ගොවිජන කුළුණ දක්වාත් කිලෝමීටර් 18ක දුරක් ආවරණය වන පරිදි මෙරට පළමු කේබල් කාර් ව්‍යාපෘතිය චීන හා ඇමෙරිකානු ආයෝජකයන්ගේ හවුල් ව්‍යාපෘතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

දැනට වාර්තා වන තොරතුරු අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මෙම වසරේ ඔක්තෝබර් මාසය වන විට අවසන් කිරීමට නියමිතය.

එම ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong අම්බුළුවාව ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණ අම්බුළුවාව භාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න හමුව තිබේ.

ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය මීට වසර 18කට පෙර අවසන් කර ඇති අතර චීන සහ ඇමරිකානු ආයෝජකයින් නිසා එය සිහිනයක් නොවී යථාර්ථයක් බවට පත්වී ඇත.

නුවරඑළිය බලා යන විදේශීය සංචාරකයන්ට ගම්පොළින් සිය ගමන නතර කර කේබල් කාර් සවාරියක් භුක්ති විඳීමට ගම්පොළ දුම්රිය ස්ථානය දක්වා කේබල් කාර් සේවාව ව්‍යාප්ත කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න එහිදී පවසා ඇත.

මේ හරහා ගම්පොළ ලෝකයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර ඇත.