February 12, 2024

තල්මසාගේ බහිස්‍රාවීය ද්‍රව්‍යයක්වන ‘අම්බර’ සන්තකයේ තබාගන්නා පුද්ගලයන් පවතින කිසිදු නීතියක් යටතේ අත්අඩංගුවට ගැනීමට නොහැකි බව ශාක හා සත්ත්ව විශේෂඥයකුවන හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සත්ත්ව කොටස්වලට අයත් වන්නේ සතුන්ගේ ස්‍රාවීය ද්‍රව්‍ය මිස බහිස්‍රාවීය ද්‍රව්‍ය නොවන බවය.

එය වනජීවී ආඥා පනත හෝ වෙනත් කිසිදු පනතක් යටතට ගැනෙන වරදක් නොවන බව කී හිටපු රේගු අධ්‍යක්ෂවරයා, ආදායම් ගතහැකි දෙයක්වන අම්බර මෙසේ අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස රඳවා තැබීමෙන් දිරායන බවත්, එය අපරාධයක් බවත්, පෙන්වා දී ඇත.

අම්බර යනු කුමක්දැයි විස්තර කළ හෙතෙම එය මසුන් ආහාර පිණිස ගන්නා තල්මසුන් වර්ගයක්වන කොමඩුවා නොහොත් කොමඩා නමින් හඳුන්වන තල්මසාගේ බහිස්‍රාවීය ද්‍රව්‍යයක් බව පවසයි.

කොමඩා යනු මුහුදු දැවැන්තයා නිල් තල්මසාට පමණක් දෙවැනිවන විශාලතම තල්මසා වේ.

මාංශ භක්ෂකයකුවන එම තල්මසා විසින් දැල්ලන් හා ඉස්සන් වැනි මසුන් වර්ග ආහාරයට ගන්නා අවස්ථාවන්හිදී තල්මසාගේ උදරයේ රැඳෙන එම සත්ත්ව පොතු උදරයේ ශ්ලේෂ්මල සමඟ රැඳී කලක් තිබී මළ සමඟ පිටවන අතර, එම වසුරු මුහුදු ජලය මත පාවෙමින් තිබී වෙරළට පාවී එන බව හෙතෙම පෙන්වා දී තිබේ.

එමෙන්ම දැල්ලන්ගේ පොතු තල්මසාගේ තල්ලේ ඇලෙන බවත්, තල්ලේ ශ්ලේෂ්මල සමඟ රැඳී තිබී එය අපහසුවක්වන අවස්ථාවේදී තල්මසා වමාරා ඉවත දමන අතර, එය මුහුදු ජලය මතුපිට රැඳී පසුව ගොඩබිමට ගසාගෙන එන බවත්, හෙතෙම සඳහන් පවසයි.

අම්බර නමින් හඳුන්වනු ලබන්නේ මෙම බහිස්‍රාවීය ද්‍රව්‍ය බව ඔහු සඳහන් කරයි.

මෙහිදී මෙම ද්‍රව්‍ය පෙණ ගොඩක් සේ වෙරළ මත පවතින අතර, එය හඳුනන පිරිස් විසින් එකතු කර අලෙවි කරන බවත්, එයට විශාල වටිනාකමක් ඇත්තේ මේවා නිතර නිතර හමුනොවන නිසා මෙන්ම විලවුන් නිෂ්පාදනයේදී අදාළ විලවුන් වර්ගය වැඩි කාලයක් ශරීරයේ රැඳී පැවැතීමේ ගුණය අම්බර යෙදීමෙන් ලබාගන්නා නිසා බවත්, ඔහු සඳහන් කර ඇත.

සුවඳ විලවුන් මෙන්ම ඖෂධ හා වාජීකරණ ඔසු නිපදවීමටද අම්බර යොදා ගැනේ.

කෙසේවෙතත් මෙම බහිස්‍රාවී ද්‍රව්‍ය තල්මසුන් මරා ලබාගත නොහැකි බැවින් තල්මසාට එයින් හානියක් නොවන බවත්, වනජීවී අණපනත් අනුව ස්‍රාවීය ද්‍රව්‍ය මිස බහිස්‍රාවීය ද්‍රව්‍ය අත්අඩංගුවට ගත නොහැකි බවත්, හෙතෙම තවදුරටත් පැහැදිලි කර ඇත.(මව්බිම)

42.31%
17.27%
32.76%