June 21, 2023

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල ගවයන්ට විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමට චීනයේ සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇත.

“ඇල්ෆැල්ෆා’’ නමින් හඳුන්වනු ලබන මෙම තෘණ විශේෂය වගා කිරීමෙන් පසුව චීනයට අපනයනය කිරීමට නියමිතය.

මේ පිළිබඳව අදාළ චීන සමාගමේ නියෝජිතයන් සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අතර සාකච්ඡාවක්ද පැවැත්විණි.

මෙහිදී කෘෂිකර්ම බලධාරීන් පවසා ඇත්තේ මුලින්ම මෙම තෘණ බීජ මෙරට ජාතික ශාක නිරෝධායන සේවයට යොමුකර පරීක්ෂා කළ යුතු බවය. මෙම තෘණ විශේෂය ආක්‍රමණශීලී ශාක විශේෂයක්ද යන්න හා එම බීජ මෙරට පරිසර පද්ධතියට ගැළපේද යන්න පිළිබඳව පරීක්ෂා කළයුතු බව කෘෂිකර්ම බලධාරීන් චීන සමාගමේ නියෝජිත පිරිසට දැනුම්දී තිබේ.

එම පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව තෘණ විශේෂය මෙරට වගා කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහ පැවසුවේය.

ලංකාව තුළ දැනට මෙම ඇල්ෆැල්ෆා තෘණ වගාව සිදු නොකෙරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. චීන සමාගම විසින් අදාළ තෘණ විශේෂයේ බීජ සැපයීම සිදු කරන අතර,ගොවීන් එම බීජ සිය ඉඩම්වලට යොදා වගා කිරීමෙන් පසුව තෘණ අස්වැන්න චීන සමාගම විසින් මිලදී ගැනීමට නියමිතය.

තෘණ විශේෂය යොදාගෙන සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට මෙරට තුළ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සම්බන්ධවද චීන සමාගම සාකච්ඡා කර තිබේ.

කෙසේ නමුත්,අදාළ වගා කටයුතු සම්බන්ධව අවසන් එකඟතාවකට නොපැමිණි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කීවේය.

මෙම තෘණ ව්‍යාපෘතියට අමතරව චීනයට අවශ්‍ය මිරිස්, මඤ්ඤොක්කා සහ තවත් ‌භෝග කිහිපයක් මෙරට ඉඩම්වල වගා කිරීම සම්බන්ධයෙන් ද චීන සමාගමේ නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබේ.

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් චීන සමාගමකින් පසුගිය කාලයේ ආනයනය කිරීම නිසා මෙරටට සිදුවූ පාඩුව රුපියල් කෝටි 138 කට වැඩි බව විගණන පරීක්ෂණවලින්ද අනාවරණය විය.

(අරුණ පුවත්පත)