October 23, 2023

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන් වෙත සහන මිලට වායු රයිෆල් බෙදාදීම ඊයේ (22) සිට ආරම්භ කළ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.

අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ ගොවීන් වෙත වායු රයිෆල් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, වන සතුන්ගෙන් වගා හානි වැළැක්වීම සඳහා ගොවීන් තුවක්කු ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ගොවීන් වෙත වායු රයිෆල් 268ක් බෙදාදීමට කටයුතු යොදා ඇත.

මේ වන විට වන සතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇති අතර, වගා හානි සිදුකරන සතුන් අතර රිලවුන්, මොනරුන් සහ දඬුලේනුන් ප්‍රමුඛ වේ.

දැනට මෙම සතුන් ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර, වන අලි තවමත් එම ලැයිස්තුවට ඇතුළත් වේ.

වගා හානි වැළැක්වීමේ අරමුණින් ගොවීන්ගේ ඉල්ලීම පරිදි වායු රයිෆල් බෙදාදීමට කටයුතු කරමින් සිටින අතර, මේ වසර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන්කර ඇති බව ඇමැතිවරයා සඳහන් කර ඇත.

කෙසේවෙතත්, කිසිදු සතෙක්ට හිංසා කිරීම සඳහා වෙඩි බෙහෙත් ලබාදිය නොහැකි බැවින් මෙම වායු රයිෆල් සතුන් මැරීමට භාවිත නොකොට ඔවුන් පළවා හැරීමට පමණක් යොදාගන්නා ලෙසට ඔහු ගොවීන්ට උපදෙස් දී තිබේ.

කිසිදු හේතුවක් මත මිනිසුන්ට එරෙහිව වායු රයිෆල් භාවිත නොකරන ලෙසත් හෙතෙම ගොවීන්ගෙන් ඉල්ලා ඇත.

කිසියම් ගොවියෙක් විසින් මෙම වායු රයිෆල් භාවිත කරමින් මිනිසුන්ට හානි කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%