42.31%
17.27%
32.76%
September 29, 2023

රටේ කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෙරටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වාදීම සඳහා පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

පසුගියදා පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

රටේ පශු සම්පත් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ අදාළ නිෂ්පාදන සඳහා උචිත සතුන්ගේ හිඟකම බවත්, දැනට අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයන් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය හඳුනාගෙන ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බව පෙන්වාදෙන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, දැනට නැගෙනහිර පළාතේ සුදු ගවයන් යොදාගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බව සඳහන් කරති.

එමෙන්ම කොට්ටුකච්චිය ගොවිපළේ නිපදවන ලද කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බව ද අනාවරණය වේ.

රටට අවශ්‍ය දෛනික ගව මස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 37,000කි.

මෙම මස් ප්‍රමාණයෙන් වැඩි කොටසක් ආනයනය කරනු ලබයි.

එමෙන්ම කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීය වශයෙන් නිපදවනු ලබන්නේ සියයට 40ක් පමණි.

කිරි අවශ්‍යතාවයෙන් සියයට 60ක් සපුරා ගනු ලබන්නේ ආනයනය කිරීම මගිනි.

මේ නිසා වැඩි කිරි ප්‍රමාණයක් නිපදවාගත හැකි තාක්ෂණය ගොවීන්ට නොලැබීමත්, වැඩිපුර කිරි නිපදවිය හැකි ගව විශේෂයක් මෙරට තුළ නොතිබීමත් ප්‍රධාන ගැටළුවක් වේ.

පශු සම්පත් අංශ දැනට අවුරුදු පහකට කළින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ නම් මේ වනවිටත් අපේ රටට ගැළපෙන ගවයන් හා එළුවන් විශේෂ නිපදවා ගත හැකිව තිබුණු නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගැනීම නිසා අද රටට අවශ්‍ය කිරි හා මස් ප්‍රමාණය අපිට ආනයනය කිරීමට සිදුව තිබෙන බව අමාත්‍යංශය පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%