January 16, 2024

තේ වගාව සඳහා යොදන පොහොර මිල රුපියල් 2000කින් අඩුකරන බවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කර ඇති ප්‍රකාශයට කිසිදු පදනමක් නොමැති බව අනාවරණය වේ.

ඇමතිවරයා පවසා ඇත්තේ, තේ වගාව සඳහා යොදන T-750, T-709 සහ T- 200 යන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2000කින් අඩුකිරීමට තීරණය කර ඇති බවයි.

එහෙත් වැවිලිකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස මිල අඩුකරන බව පැවසීම ගොවියා සහ රටේ ජනතාව මුලාකිරීමක් බවයි.

වැවිලිකරුවන්ගේ සංගමය අප වෙත ඒවා ඇති මෙහි දැක්වෙන බිල්පතට අනුව පසුගිය දෙසැම්බර් 28වැනිදා වන විටත් T-750 වර්ගයේ පොහොර මිටියක් අලෙවි වී ඇත්තේ රුපියල් 7000කට වැඩි මිලකටය. මෙහි දැක්වෙන ආකාරයට රුපියල් 7150ක මිලකටය.

එහෙත් ඇමතිවරයා සඳහන් කර ඇත්තේ, T-750 පොහොර මිටියක් රුපියල් 2000ක මිල අඩුකිරීමකින් පසුව ගොවියාට රුපියල් 7735ක මිලකට ලබාදෙන බවය.

එය 2023 දෙසැම්බර් මාසයේ පැවැති වෙළඳපොල මිලටත් වඩා වැඩි අගයක් වීම හාස්‍යයට කාරණයකි.

එම සැබෑ මිල මත පදනම්ව රුපියල් 2000කින් T-750 පොහොර මිටියක මිල පහත දමන්නේ නම්, එහි සැබෑ මිල උපරිම වශයෙන් ගත්තද රුපියල් 5200කට හෝ ඊට ආසන්න මිලකට පහත බැසිය යුතුය.

ඒ අනුව පෙනීයන්නේ, එක්කෝ මැතිවරණයක් ආසන්නයට පැමිණෙමින් තිබියදී ඇමැතිවරයා දැනදැනම ජනතාව ගොනාට ඇන්දවීමට උත්සහ කරන බවකි. නැතිනම් අමාත්‍යංශයේ සහ පොහොර සමාගම්වල නිලධාරීන් එක්ව ඇමැතිවරයාව ගොනාට අන්දා දැවැන්ත පොහොර මගඩියකට සූදානම් වන බවකි.

42.31%
17.27%
32.76%