November 28, 2024

උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක ජනාධිපති නීතිඥ සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඒ, දිවයිනේ උතුරු සහ නැගෙනහිර බොහෝ මැතිවරණ කොට්ඨාසවලින් සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සැළකිව යුතු පරාජයකට ලක්ව තිබියදීය.

නොවැම්බර් මස පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය උතුරු සහ නැගෙනහිර පළාත්වල ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ අතර, එය එම කලාපයේ දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් සනිටුහන් කළේය.

දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂවල ඉදිරි සැලසුම් පිළිබඳ දහස් දක්වමින් විග්නේෂ්වරන් පවසා ඇත්තේ දෙමළ ජාතිකවාදය ගැන උනන්දුවක් දක්වන සියලුම දේශපාලන පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බවයි.

“උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස රජයට බලකිරීම සඳහා මෙම සන්ධානය පිහිටුවනු ලබනවා.”යනුවෙන් ඔහු පවසයි.

මීට පෙර උතුරේ දේශපාලන කණ්ඩායම් දෙකකට ලැබුණු ඡන්ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි වශයෙන් ජාතික ජන බලවේගයට ලැබී ඇති බව හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

“මීට පෙර විශේෂිත දේශපාලනඥයන් දෙදෙනෙකුට සහය දුන් ආධාරකරුවන් මෙවර සහය දී ඇත්තේ ජාතික ජන බලවේගයට. ඊට අමතරව පළමු වතාවට ඡන්ද අයිතිය ලබාගත් බොහෝ දෙනාද කිසියම් හේතුවක් නිසා ජාතික ජන බලවේගයට ඡන්දය දී තිබෙනවා. නමුත් අනෙකුත් දේශපාලන පක්ෂවලට ලැබෙන සහයෝගය අඩුවෙලා නැහැ.” යැයි ඔහු පවසයි.

දෙමළ දේශපාලන පක්‍ෂ තම ඉදිරි වැඩකටයුතු සැලසුම් කරමින් සිටින අතරවාරයේ යුද ගැටුම්වලදී මියගිය තම පවුලේ සාමාජිකයන් සැමරීමට උතුරේ ජනතාවට ඉඩදීම වැනි සාධනීය තීන්දු තීරණවලට ද ප්‍රශංසා කරන බව විග්නේෂ්වරන් පැවසීය.

“ආණ්ඩුව හොඳ වැඩ ටිකක් කරනවා. යුද්ධයෙන් මියගිය අය සැමරීමට ඉඩ දීමට ඔවුන් ගත් තීරණය එවැනි එක් තීරණයක්. දේශපාලන පක්ෂ ඇතුළු ජනතාව ඒ ගැන සතුටු වෙනවා.” යනුවෙන් ඔහු පවසා තිබේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්ද රටාවේ වෙනසක් පෙන්නුම් කළේය.

බොහෝ ඡන්දදායකයෝ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී සහ ප්‍රාදේශීය පක්ෂවලින් ඈත් වූ අතර ඒ වෙනුවට ජාතික ජන බලවේගය වැනි ජාතික පක්ෂවලට සහාය පළ කළහ.

මෙම මාරුවෙන් පෙනී යන්නේ ජනතාව වාර්ගික දේශපාලනයෙන් සහ කලාපීය බෙදීම්වලින් ඔබ්බට විසඳුම් සොයමින් ආර්ථික හා සමාජීය ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.

 

42.31%
17.27%
32.76%