July 23, 2023

ගාල්ල උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක විදේශිකයන්ගෙන් මුදල් සොරකම් කිරීමේ සිද්ධියකදී පොලිස් නිලධාරීන්ට සහ සාක්ෂිකරුවන්ට අයුතු බලපෑම් එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කර ඇත.

රුසියානු සංචාරකයන් පිරිසකට අයත් රුපියල් ලක්ෂ 60කට අධික විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් උණවටුනේ සංචාරක හෝටල් හිමිකරුවෙක්, ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙක් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වසර මුලදී අත්අඩංගුවට ගෙන තිබේ.

හෝටල් දෙකක නවාතැන් ගෙන සිටි රුසියානු සංචාරකයන් පිරිසකගෙන් ලද පැමිණිලි මත විමර්ශන සිදු කළ අපරාධ විමර්ශන ඒකකය සහ උණවටුන සංචාරක පොලිසිය මේ වසරේ ජනවාරි මාසයේදී හෝටලයක හිමිකරු, ඔහුගේ පුතා සහ ගණකාධිකාරීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් රුපියල් 752,772 ක්, ඇමෙරිකානු ඩොලර් 61,000 ක්, රුබල් 195,000 ක් සහ යුරෝ 200 ක් සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.

උණවටුන සංචාරක පොලිසියේ සහාය ඇතිව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ඇත.

කෙසේ වෙතත්, මෙම සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන හෝටලයේ හිමිකරු අත්අඩංගුවට නොගන්නා ලෙසට පොලිස්පතිවරයා සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා තමන්ට බලපෑම් කළ බව උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වසරේ මාර්තු මාසයේදී නඩුවක් පවරා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අණ නොපිළිපැදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඊට පටහැණිව කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව ජූලි 19 වැනිදා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, අදාළ චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙසයි.

එවැනි වරදක් සිදු වූ විට මහාධිකරණයක් හමුවේ අධිචෝදනා ඉදිරිපත් කිරීම නීතිපතිවරයාගේ වගකීමක් බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අනුව විමර්ශනයට යම් බලපෑමක් සිදුවී ඇති බව පැහැදිලි වන බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී තිබේ.

එබැවින් උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ ඔහුගේ නියෝග යටතේ ක්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අභ්‍යන්තර විමර්ශනය අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.