October 31, 2023

ඇඹිලිපිටිය, සනාරා හෝටලයේ හිමිකරු සහ හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ලෙස කටයුතු කරන ගයාන් දිසානායක විසින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි යන අයගේ සහයෝගය මත සිංහරාජ අඩවියේ ගොංගල කඳුවැටිය පාමුල සුවිශේෂී පරිසර පද්ධතියක් විනාශ කරමින් ඉඩම් ඇල්ලීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරන පරිසරවේදී සජීව චාමිකර පෙන්වාදෙන්නේ, සභාපතිවරයාට ඇති දේශපාලන රැකවරණය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් මීට එරෙහිව ජනතාවගෙන් එල්ලවන ප්‍රතිවිරෝධය මැඩපවත්වා ගැනීමට ද උත්සාහ ගනිමින් සිටින බවයි.

පරිසරවේදී සජීව චාමිකර අදාළ කටයුත්ත සම්බන්ධයෙන් මෙසේ කරුණු අනාවරණය කරයි.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව ග්‍රාමනිලධාරී වසමේ හේස්වත්ත, ගොංගල කොටසේ පිහිටි මෙම ජල පෝෂක භූමිය ගිං ගඟේ ආරම්භක දියදහරාවන් ලෙස සැළකේ. මේ ආශ්‍රිත ව පිහිටි තෘණ බිම් පද්ධතිය හා තෙත් බිම් පද්ධතිය ගෝනුන් හා කොටියන් ඇතුළු සත්ත්ව විශේෂවල ප්‍රධාන වාසස්ථානයක් වන අතර ඉතා ම දුර්ලභ හා ආවේණික උභයජීවීන් හා මිරිදිය කකුළු විශේෂ කිහිපයක් වාර්තා වන අද්විතීය පරිසර පද්ධතියකි. මෙහි ගවයන් ඇති කිරීමේ ගොවිපළක් ආරම්භ කිරීම සඳහා යැයි පවසමින් මෙම ස්ථානයේ අක්කර 05 ක් පමණ තෘණ භූමියක් හා අක්කර 02 ක් පමණ වන වනාන්තර ප්‍රදේශයක් එළි කිරීම සිදු කර ඇත. මීට අමතර ව මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ගිනි තැබීම ද සිදු කර තිබේ. මේ ආකාරයෙන් ඉඩම් නීති විරෝධී ව අත්පත් කර ගෙන මෙම ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.

සිංහරාජ අඩවියේ විශේෂිත ම ප්‍රදේශයක් ලෙස සැලකෙන වසර මිලියන ගණනක් පුරා සමහර ජීවී විශේෂ හුදෙකලාව පරිණාමය වූ ගොංගල වනාන්තරය හා තෘණ භූමි පද්ධතිය මේ ආකාරයෙන් විනාශ කිරීම හේතුවෙන් දැවැන්ත විනාශයක් සිංහරාජ අඩවියේ ජෛව ප්‍රජාවට සිදු වනු ඇත. මීට අමතර ව ගිං ගඟේ ආරම්භක දියදහරාවන් විනාශ කිරීම හේතුවෙන් ඊට පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට පානීය ජල අර්බුධයකට දරුණු ලෙස මුහුණ දීමට සිදු වන අතර මෙම වන විනාශය හේතුවෙන් ජලය රොන්මඩින් හා වෙනත් අපද්‍රව්‍යවලින් දූෂණය වීම නිසා එම ජලය භාවිතයට ගැනීමට නොහැකි වීම හා ජල පෝෂක බිම් අහිමි වීම නිසා ජනතාව ගේ ජල සුරක්ෂිතතාව ද බිඳවැටීම සිදු වනු ඇත.

දේශපාලන රැකවරණය හා ව්‍යාපාරික බලය මත ගයාන් දිසානායක නීති විරෝධීව මෙම විනාශයන් සිදුකරමින් පවතින්නේ පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමිනි. සිංහරාජ රක්ෂිත ප්‍රදේශය හා ඒ වටා සමස්ත ප්‍රදේශයම 1996 අංක 24 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදුකරන ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව යම් සංවර්ධන ක්‍රියාවලියක් මඟින් ජල පෝෂක ප්‍රදේශවල පැවැත්මය හෝ කඳු වැටිවල පැවැත්මට හානි කර බලපෑම් එල්ල විය හැකි බැවින් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ය.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබාගතයුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කළ යම් ප්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ අනුව ගයාන් දිසානායක මෙම සියලු වනාන්තර එළිකිරීම් සිදුකර ඇත්තේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.

අනුමැතියකින් තොරව නීතිවිරෝධීව සිදුකරන මෙම සියලු ක්‍රියාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23 අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී, පනතේ 31 වගන්තියට අනුව එවැනි නීති ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියට යොමුකිරීමෙන් පසු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 02 ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකටම යටත් කළ හැකි ය.

ගයාන් දිසානායක විසින්ම සඳහන් කරන ආකාරයට මෙම ඉඩම් ඇල්ලීම සඳහා සහයෝගය ලබාදෙන ජානක වක්කුඹුර රාජ්‍ය ඇමැතිවරයා පසුගිය දා සිංහරාජයේ කුඩව පිවිසුම නවීකරණය කර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් සඳහන් කර ඇත්තේ, 2019 වසරේ දී සිංහරාජ රක්ෂිතයට අලුතින් වනාන්තර එක්කිරීම නිසා එහි නොයිදුල් බවට දැවැන්ත හානියක් සිදු වූ බව ය. මෙවැනි ප්‍රකාශ සිදුකරමින් ඔහු උත්සාහ දරන්නේ සිංහරාජ රක්ෂිතය වටා පිහිටි සුවිශේෂී පරිසර පද්ධති ඔවුන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමටය.

මීට ප්‍රථම 2011 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සමඟ එක් වී සිංහරාජ රක්ෂිතයට පවරා ගැනීමට නියමිතව තිබූ වනාන්තර පෞද්ගලිකව අත්පත් කරගැනීමට සිංහරාජ අඩවිය දෙකඩ කරමින් බෙරලගල මූකලාන හරහා ඉළුබකන්ඳ – සූරියකන්ඳ මාර්ගය ඉදිකිරීමට සූදානම් වූයේ ද ජානක වක්කුඹුර විසිනි. මොවුන්ට මෙම වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ වනාන්තර ඉඩම් අත්පත් කරගැනීම පමණි.
ගයාන් දිසානායක සඳහන් කරන ආකාරයට ඔහුට දේශපාලන රැකවරණය ලබාදෙන පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියද අමාත්‍යංශය ලැබී කෙටි කාලයක් තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන ඉඩම් ලබාගැනීම ද සිදු කෙරිණි. දෙනියාය, විහාරහේන, සෙල්ලවකන්ඳ ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සිංහරාජය ආශ්‍රිතව පිහිටි විශාල තෘණ භූමියක අක්කර 50 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන තේ වගාව සඳහා භූමිය සැකැසීම සිදුකර තිබේ. මෙම ඉඩම් සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට යෝජිතව ඇති බැවින් ඒ පිළිබඳ ව අප අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ පවිත්‍රා වන්නිආරච්චිගේ දේශපාලන බලය මත මේ සියල්ල සිදු වන බව ය. මීට අමතරව සිංහරාජ අඩවියේ පිහිටි ප්‍රධාන ම අලි මංකඩ වන මාණික්කවත්ත ප්‍රදේශයේ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියගේ පියාට අයත් ඉඩම් සෙවීම සඳහා මීට මාස කිහිපයකට ප්‍රථම නිරීක්ෂණ චාරිකාවක් සිදු කර ඇත්තේ ද, දේශපාලන බලය භාවිත කරමිනි. මේ අනුව පෙනී යන්නේ දේශපාලඥයන් හා ව්‍යාපාරික කණ්ඩායම් එක් ව දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සිදුකරන බව ය.

ඇඹිලිපිටිය, සනාරා හෝටලය පවත්වාගෙන යන ගයාන් දිසානායක විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් දඩමස් විකිණීමේ ජාවාරමක් ද අඛණ්ඩව සිදුකරගෙන යමින් තිබේ. මෙවන් පුද්ගලයන් දේශපාලන බලය මත හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ සභාපති තනතුරට පත් කිරීමෙන් සිදුකර ඇත්තේ ඔවුන්ගේ ජාවාරම් අඛණ්ඩව සිදුකරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දීම ය. එබැවින් මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල වහා ම නතර කළ යුතු අතර එම නීති විරෝධී ක්‍රියාවල නිරත වූ ගයාන් දිසානායකට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා බලපෑම් කිරීමට නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සහිත රටක් ගොඩනගා ගැනීමට වෙහෙස වන ජනතාව ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය.