April 23, 2025

මාතර බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන් මේ වනවිට ආසන්න බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ අද පෙරවරුවේ මෙම රැඳවියන් මාරුකිරීමට පියවර ගෙන තිබේ.

කලහකාරී සිද්ධිය ඊයේ රාත්‍රී 8.00 ට පමණ ආරම්භ වී ඇති අතර මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීන් ඊයේ රාත්‍රියේ උත්සාහ කිරීම ඊට ආසන්නතම හේතුව වී ඇතැයි වාර්තා වේ.

ඊට ප්‍රතිචාර වශයෙන් එක් වාට්ටුවක රැඳවියන් පිරිසක් විරෝධය පළ කිරීමට පටන් ගෙන ඇති අතර අනතුරුව ඔවුන් කලහකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී අධිආරක්‍ෂිත සිරමැදිරිවල සිටි රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි වාර්තා වේ.

කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අහසට අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර ද එල්ල කර තිබිණි.

මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිට පැවසුවේ ඇති වූ නොසන්සුන්තාවයේදී බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.

මේ අතර අද පෙරවරුවේ වාර්තා වුණේ නොසන්සුන්තාව පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන අතර මාතර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයත් සමඟ එම ස්ථානයෙන් පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.