October 13, 2024

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යූ ටියුබ්කරුවකු අශේන් සේනාරත්නගේ ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු විදේශ සහ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි කනස්සල්ල පළකර තිබේ.

සුළු ක්‍රියා පටිපාටිමය ගැටළු මත පදනම්ව එවැනි ප්‍රතික්ෂේප කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම හා ඔවුන්ගේ නායකයන් තෝරා ගැනීමට මහජනතාවට ඇති අයිතිය සමඟ ගැලපේදැයි සබ්රි ප්‍රශ්න කරයි.

තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කළ බව ජනප්‍රිය යූ ටියුබ්කරුවෙකු වන අශේන් සේනාරත්න පෙරේදා අනාවරණ කළේය.

සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් ඔහු සිය කලකිරීම ප්‍රකාශ කළේ, වැරදි පුද්ගලයකු නාමයෝජනා පත්‍ර භාරදුන් බව පවසමින් ප්‍රතික්ෂේප කිරීම සිදුකළ බවයි.

එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව අශේන් සේනාරත්න සඳහන් කළේය.

කෙසේවෙතත් නාමයෝජනා භාරදීමට බලය ඇත්තේ කුමන පුද්ගලයන්ටද යන්න මැතිවරණ පනතේ සඳහන් වන බව මැතිවරණ කොමිසම යළිත් අවධාරණය කර ඇත. මෙයට අනුකූල වීමට අපොහොසත් වීම නුසුදුස්සෙකු වීමට හේතු වේ.

මේ සම්බන්ධයේ හිටපු ඇමැති අලි සබ්රි මෙසේද සඳහන් කර තිබේ.

“මෙය කාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූවාද යන්න හෝ ඔවුන්ගේ සුදුසුකම් මොනවාද යන්න ගැන නොවේ. එය මහජනතාවගේ තීරණයයි. සැබෑ ප්‍රශ්නය වන්නේ අභූත තාක්‍ෂණයක් මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම නිවැරදිද යන්නයි.

අනවසර පුද්ගලයකු විසින් නාමයෝජනා පත්‍රයක් භාර දුන්නද එය භාර ගැනීමට පෙර නාමයෝජනා නිලධාරියා ඒ බව තහවුරු කර ගත යුතු නොවේද? පත්‍රිකා භාරගැනීම, නියමිත කාලය අවසන් වන තෙක් බලා සිටීම සහ සම්පූර්ණ ලැයිස්තුවම ප්‍රතික්ෂේප කිරීම පිළිගත හැක්කේ කෙසේද? වරද නිවැරදි කිරීමට අවස්ථාවක් නොදී පිළිගෙන අවලංගු කිරීම මැතිවරණ නිලධාරියෙකුගේ මහජන යුතුකමද?”

42.31%
17.27%
32.76%