January 25, 2024

අලවතුගොඩ සමන් දේවාලයේ කපු රාජකාරී පංගුව සම්බන්ධයෙන් ඇති වූ බව කියන අර්බුදයක් හේතුවෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව එම දේවාලයට ඊයේ (24) මුද්‍රා තබා ඇත.

මෙම දේවාලයේ ප්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා මීට දෙසතියකට පමණ ඉහත දී මියගොස් ඇත.

ඔහුගේ සහෝදරයන් දේවාලයේ ප්‍රධාන යතුර කපු රාජකාරී භාර අනෙක් පාර්ශ්වයට නොදීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය මතුවී ඇති බව දැන ගන්නට තිබේ.

එම සිදුවීම නිසා සති දෙකක පමණ කාලයක් තිස්සේ දේවලය වසා තැබීම හේතුවෙන් බාර හාර සඳහා දේවාලයට පැමිණෙන බැතිමතුන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ මියගිය කපු මහතාගේ සහෝදරයන් මළ ගෙදරට සහභාගිවීමෙන් ‘කිල්ලට’ අසුවීම හේතුවෙන් ඔවුන්ට දේවලයේ රාජකාරි කිරීමට නොහැකි බවයි.

අනෙක් පාර්ශවයට යතුරු බාරදෙන ලෙස කළ ඉල්ලීමට ඔවුන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා දේවාලයට සීල් තැබීමට සිදුවූ බවද එම කාර්යාලය ප්‍රකාශ කර ඇත.

මේ හේතුවෙන් මියගිය කපු මහතාගේ සහෝදරයන් ඔවුන්ගේ ඥාතියකුට යතුරු බාර දීමට කැමැත්තෙන් පසුවුවත් සම්ප්‍රදායානුකූලව ඊට ඉඩක් නොමැති බව බෞද්ධ කටයුතු කාර්යාල නියෝජිතයෝ පවසති.

අලවතුගොඩ සමන් දේවාලයේ අලුත් සහල් මංගල්‍යය අදට (25) යෙදී ඇති අතර දේවාලය විවෘත කර ගැනීමට නොහැකි වුවහොත් එම පූජා කටයුතු ද කර ගැනීමට නොහැකි වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර සහ අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ භාෂණ උදීප බණ්ඩාර යන අය දේවාලය විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

අලවතුගොඩ පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වයි.

 

(ලංකාදීප)

42.31%
17.27%
32.76%