May 6, 2024

ගාසා තීරයේ යුද්ධය පවතින තාක් කල් අල් ජසීරා රූපවාහිනී ජාලයේ ඊශ්‍රායලය තුළ මෙහෙයුම් වසා දැමීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය විසින් තීරණය කර තිබේ.

එරට කැබිනට් මණ්ඩලය ඊයේ මෙම තීරණයට එළඹ ඇත්තේ ‘අල් ජසීරා රූපවාහිනී ජාලය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරයි’ යන පදනම මත සිටයි.

ඊශ්‍රායලයේ ආරක්ෂාවට හානි කළ බවට එල්ල වන චෝදනා ‘භයානක හා හාස්‍යජනක බොරුවක්’ ලෙස අල් ජසීරා විසින් ප්‍රතික්ෂේප කළ අතර එය එහි මාධ්‍යවේදීන් අවදානමට ලක්කරන අබවත් මේ සඳහා සෑම නීතිමය පියවරක්ම අනුගමනය කිරීමට තමන්ට අයිතියක් ඇති බව පවසා තිබේ.

මෙම ජාලයට අරමුදල් සපයනු ලබන්නේ කටාර් රජය විසින් වන අතර, පුරා පැය විසිහතර පුරා යුද්ධයේ තොරතුරු වාර්තා කරමින් ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම විවේචනය කර ඇති බව වාර්තා වේ.

ඒකමතික කැබිනට් ඡන්දයෙන් පසුව ‘උසිගැන්වීමේ නාලිකාවක් වන අල් ජසීරා ඊශ්‍රායලයේ වසා දමනු ඇත’ යනුවෙන් නෙතන්යාහු සමාජ මාධ්‍යවල පළ කළේය.

වාර්තා වන පරිදි ඊශ්‍රායලයේ සන්නිවේදන ඇමැතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන ලෙස නියෝගයට අත්සන් කර තිබේ.

මෙම පියවරට ඊශ්‍රායලයේ අල් ජසීරා කාර්යාල වසා දැමීම, විකාශන උපකරණ රාජසන්තක කිරීම, කේබල් සහ චන්ද්‍රිකා සමාගම්වලින් නාලිකාව කපා හැරීම සහ එහි වෙබ්අඩවි අවහිර කිරීම ඇතුළත් වේ.

අල් ජසීරාහි ගාසා මෙහෙයුම් ගැන එහි සඳහන් නොවීය.

අල් ජසීරා සිය මෙහෙයුම් සීමා කිරීමට ඊශ්‍රායල දරන ප්‍රයත්නයන් ගැන අප්‍රේල් මස මුලදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එය අල් ජසීරා නිහඬ කිරීම සඳහා ක්‍රමානුකූලව සිදුකර ඊශ්‍රායල ප්‍රහාර මාලාවක කොටසක් බවයි.

ගැටුම අතරතුර ගාසා තීරයේදී ඝාතනයට ලක් වූ සමර් අබු ඩක්කා සහ හම්සා අල්ඩහ්දූහ් ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඊශ්‍රායල බලධාරීන් හිතාමතාම ඉලක්ක කර මරාදමා ඇති බව එහි සඳහන් වේ.

ඊශ්‍රායලය පවසා ඇත්තේ තමන් මාධ්‍යවේදීන් ඉලක්ක කර නොගන්නා බවයි.

කටාරය විසින් අල් ජසීරා ආරම්භ කරනු ලැබුවේ 1996 දීය.