February 12, 2025

මෙරට වාතයේ ගුණාත්මකභාවය කෙරෙහි වැඩි කතාබහක් පවතින පසුබිමක් තුළ, දූෂිත වාතය ගර්භණී මව්වරුන්ගේ කළලයට අහිතකර ලෙස බලපාන බව පර්යේෂණවලින් හෙළි වී ඇතැයි ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දුමින්ද යසරත්න පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, දූෂිත වාතයට නිරාවරණය වීමෙන් කළලයේ උපත් බර අඩු විය හැකි අතර අලුත උපන් බිළිඳුන්ට ශ්වසන ආබාධ ඇති විය හැකි බවයි.

මීට අමතරව, මළදරු උපත් හෝ වෙනත් රෝගී තත්වයන් සමඟ දරුවා ඉපදීමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය මහාචාර්ය දුමින්ද යසරත්න අනාවරණ කර තිබේ.

වායු දූෂණයෙන් සෞඛ්‍යයට සිදුවන බලපෑම තවදුරටත් විමර්ශනය කිරීම සඳහා පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සහාය ඇතිව නව අධ්‍යයනයක් මේ වන විට සිදුකෙරෙමින් පවතී.

රෝහල්වල බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ගෙන් 40% ක් ශ්වසන ආබාධවලින් පෙළෙන බව ද මහාචාර්ය දුමින්ද යසරත්න පවසයි.

”මේවා සුළු හුස්ම ගැනීමේ අපහසුතා, නාසයෙන් දියර ගැලීම සහ වෛරස් ආසාදනවල සිට නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන් දක්වා විහිදෙනවා” යනුවෙන් ඔහු පෙන්වාදෙයි.

එහි දිගුකාලීන සෞඛ්‍ය ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා වායු දූෂණයට විසඳුම් සෙවීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කරයි.

42.31%
17.27%
32.76%