June 7, 2024

දුරකථනයෙන් වීඩියෝ නැරැඹීමට නොදුන්නැයි උරණ වූ අඟුණුකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවකු විසින් අසල්වැසි නිවසේ 08 හැවිරිදි දරුවකුට පෙරේදා (05) සවස පිහියකින් ඇන තුවාල සිදුකර අනතුරුව ඔහුද වස පානය කර ඇතැයි ඇඟුණුකොළපැලැස්ස පොලිසිය පවසයි.

මෙලෙස පහරදීම සිදුකර ඇත්තේ ඇඟුණුකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේම පදිංචි 13 හැවිරිදි දරුවකු වන අතර පිහි ප්‍රහාරය එල්ල වීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ අසල්වැසි නිවසේ පදිංචි 08 හැවිරිදි දරුවෙකි.

සිද්ධියට භාජන වූ පවුල් දෙකේම දෙපිරිස හා දරුවන්ද ඉතා සුහදව කටයුතු කර ඇති පවුල් දෙකක් වන අතර, මෙම දරුවන් දෙදෙනාම ජංගම දුරකථන ඔස්සේ වීඩියෝ නැරඹීම හා ගේම් සඳහා ඇබ්බැහි වී සිට ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව 13 හැවිරිදි සිසුවා පෙරේදා (05දා) සිය මවුපියන් සමඟ ඒ ආසන්නයේ සිය එළවළු කොරටුවකට ගොස් ඇති අතර පසුව මවුපියන් කොරටුවේ සිටියදීම නිවෙසට පැමිණ අසල්වැසි නිවෙසට ගොස් තිබේ.

එම අවස්ථාවේදී එම නිවසේ 08 හැවිරිදි දරුවා ජංගම දුරකථනයෙන් වීඩියෝ නරඹමින් සිට ඇති අතර එම දරුවාගේ මව රෙදි සෝදමින් සිට තිබේ.

එම අවස්ථාවේ එකවරම 08 හැවිරිදි දරුවා “මෙන්න මට ගහනෝ බේර ගන්නෝ” කියා කෑගසන ශබ්දයට අසල්වැසි කාන්තාවක් ඒ දෙස විපරම් කර තිබේ.

එහිදී 08 හැවිරිදි දරුවා එම ස්ථානයේ අඬමින් සිටියදීම 13 හැවිරිදි සිසුවා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පසුව අසල්වැසි කාන්තාව එම ස්ථානයට පැමිණ බලන අවස්ථාවේ පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බව දැක ඒ බව එම දරුවාගේ මවට පැවැසීමෙන් පසු ප්‍රතිකාර සඳහා දරුවා කුට්ටිගල රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී 08 හැවිරිදි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබේ.

පිහි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු 13 හැවිරිදි සිසුවාද නිවෙසින් පිටව ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය හා මවුපියන් එක්ව 13 හැවිරිදි දරුවා පිළිබඳව සොයාබැලීමේදී දරුවාගේ මවුපියන්ට රාත්‍රි 08.00ට පමණ වෙනත් පුද්ගලයෙක් දුරකථනයෙන් කතාකර දරුවා කුට්ටිගල රෝහලට ඇතුළත් කර ඇති බව පවසා තිබේ.

ඒ අනුව පැමිණ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ පිහි ඇනීම සිදු කිරීමෙන් පසු 13 හැවිරිදි සිසුවාද වස පානය කර ඇති බවයි.

වස පානය කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිළිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. (මව්බිම)