June 30, 2023

යන්ත‍්‍ර යොදාගෙන වී අස්වනු නෙලීමේදී සියයට 2 – 3ක පමණ අස්වැන්නක් අපතේ යෑමක් සිදුවන බවට ගොවි සංවිධාන විසින් හෙළිදරව් කිරීමෙන් පසු, ඒ පිළිබඳව වහාම අධ්‍යයනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මේ ආකාරයට වගාවන් අපතේයෑම වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ගොවීන් විසින් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

මේරූ අවධියේ වී අස්වනු නෙළන විට වගා හානියක් සිදුවුවහොත්, වී අස්වනු නෙළීමට සුදුසුම කාලය පිළිබඳව දෙපාර්තමේන්තුව විසින් ගොවීන් දැනුවත් කළ යුතු බවද විෂය භාර ඇමැතිවරයා සඳහන් කර තිබේ.

බෝග අස්වැන්න සඳහා යන්ත්‍ර භාවිතයෙන් සිදුවන බලපෑම පිළිබඳව මෙතෙක් අධ්‍යයනයක් කර නොමැති බවත්, මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම දෙපාර්තමේන්තුවට පැවරී තිබෙන බවත්, ඔහු පවසයි.

ගොවීන්ගේ ප්‍රකාශවල සත්‍යයක් තිබේ නම්, එවැනි හානි අවම කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

මේ අතර, එළඹෙන මහ වගා කන්නයෙන් පසු ශ්‍රී ලංකාවේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක පමණ අතිරික්තයක් පවතිනු ඇති බවට කළ නිරීක්ෂණයක් සැළකිල්ලට ගනිමින්, එවැනි සහල් තොග අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද ඇමැතිවරයා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වෙතත්, මේ වසරේ (2023) යල සහ මහ කන්නයේ වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක් නිෂ්පාදනය කළ හැකි බවට පුරෝකථනය කර ඇති බැවින්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක පමණ අතිරික්තයක් මතුවනු ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.