June 22, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම්ට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ඉදිරියේදී අදාළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යළි යොමුකරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

එසේම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා එක ලිපියකින් අදාළ තීරණයට විරෝධය පළකිරීමේ තීන්දුව ගැන ඇති නීතිමය තත්ත්වය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කිරීමට නියමිත බව ද ජනාධිපති කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් අගවිනිසුරු, නීතිපති ඇතුළු තනතුරු වෙනුවෙන් පුද්ගල නාම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බවට වගන්තියක් සම්මත වුව ද, එය 20 වැනි සංශෝධනයෙන් ඉවත් කරනු ලැබීය.

නැවතත් 21 වැනි සංශෝධනය යටතේ 19 වැනි සංශෝධනයේ තිබූ වගන්තියම ඇතුළත් කර ඇත.

ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති නිර්දේශ කරන නමක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමුකළ හැකි බව ද දක්වා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%