September 11, 2024

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ කිලිනොච්චි ශාඛාව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබාදීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09දා) පැවැති දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත.

ඒ අනුව ඊයේ 10 දින සිට දෙමළ පොදු අපේක්ෂක පාක්‍යසේලවම් අයනේත්‍රන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවීමට එහිදී යෝජනා වී ඇත.

එම දිස්ත්‍රික් ශාඛාව මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා වවුනියාවේදි රැස්වූ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට තීරණය කර තිබියදීය.

එම පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාඛාවත් දෙමළ පොදු අපෙක්ෂකයාට සහාය ලබාදිය යුතු යැයි යෝජනාවක් සම්මත කරගෙන ඒ වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

මීට දින කිහිපයකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහද හදිසියේ යාපනයේ සංචාරයක නිරතවූ අතර, එහිදී ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.