October 16, 2023

ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම තරගයකින් අනතුරුව සත්කාරක ප්‍රංශයට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේ විස්මයජනක ජයග්‍රහණයක් ලබාගනිමින් දකුණු අප්‍රිකාව සිය ශූරතාව ආරක්ෂා කරගැනීමට සමත් විය.

ඒ අනුව එංගලන්තය සමග 2019 අවසන් මහා තරඟය ප්‍රතිනිර්මාණය කරන අවසන් පූර්ව වටයේ තරගයක ස්ථානය වෙන්කර ගැනීමට එක ලකුණක වාසියකින් දකුණු අප්‍රිකාවට (29 -28) හැකිවිය.

Stade de France හිදී පැවැති තරගයේ පළමු අර්ධයේදී දෙපිළම උත්සාහක දිනුම් තුනක් වාර්තා කළ අතර පසුව තෝමස් රමෝස් දඩුවම් පහරකින් සත්කාරක ක්‍රීඩකයන් ඉදිරියට රැගෙන එනු ලැබුවේය.

සිය මංගල රග්බි ලෝක ශූරතාව හඹාගිය ප්‍රංශය වෙනුවෙන් රාමෝස් තවත් ලකුණු 03ක් දෙවැනි අර්ධය ආරම්භයේදීම එක්කර ගැනීමට සමත් විය.

එහෙත් හැන්ඩ්‍රේ පොලාර්ඩ් තම අර්ධය තුළ සිට එල්ල කළ දිගු දඩුවම් පහර සහ එට්සෙබෙත්ගේ උත්සාහක දිනුම තරගයේ වාසිය උඩු යටිකුරු කළේය.

තරගය අත්නොහැරි රැමෝස් තවත් දඬුවම් පහරකින් ලකුණු වෙනස එකකට අඩු කර ගත්තේ පැය 24කට පෙර මෙම ක්‍රීඩාංගණයේදීම නිමා වූ අර්ධ අවසන් පූර්ව වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර තියුණු තරගය ප්‍රතිනිර්මාණය කරමිනි.

අවසන් තත්ත්පර කිහිපය තුළ පන්දුව තමන් සන්තකයේ තබාගැනීමට ප්‍රංශය බලාපොරොත්තු වුවද, ලද අවසරයකින් Kurt-Lee Arendse පන්දුව ක්ෂණිකව ප්‍රේක්ෂකාගාරය තුළට එල්ල කිරීමත් සමග ස්ප්‍රිංබොක්ස් සතු ලෝක කුසලානය තවදුරටත් සුරක්ෂිත විය.

මේ අතර එංගලන්තය සහ ෆීජි කණ්ඩායම් දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයේ ස්ථානය වෙන්කර ගැනීමට Marseille හිදී පිටියට පිවිසියේය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 21 – 10ක් ලෙස ඉදිරියෙන් පසුවීමට එංගලන්තය සමත් වුවද දෙවැනි අර්ධයේදී ෆීජි ක්‍රීඩකයන්ගෙන් නොසිතූ අභියෝගයක් එල්ල විය.

කෙසේවෙතත් එය කළමනාකරණය කරගනිමින් අවසන් ලකුණු සටහන 30 -24ක් ලෙස සටහන් කර අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තයට හැකියාව ලැබිණි.