December 24, 2023

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද මෙරට සුළං බල ව්‍යාපෘතිය, එහි නියමිත් කාලය වන ලබන දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව වාර්තා වේ.

ව්‍යාපෘතියේ මූලික පියවර පිළිබඳ තීරණාත්මක ගිවිසුම් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට නොහැකි වීම හේතුවෙන් අපේක්ෂිත කටයුතු දියත්කිරීම ප්‍රමාදයකට මුහුණ දී ඇති බව ඊට සම්බන්ධ සමීප මූලාශ්‍ර අනාවරණ කළේය.

ආයෝජනය තවමත් සාකච්ඡාවේ මුල් අදියරේ පවතින අතර,ව්‍යාපෘතිය මෙතෙක් සැළකිව යුතු ප්‍රගතියක් ලබා නොමැති බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය මැයි මාසයේදී අදානි සමූහ ව්‍යාපාරය වෙත මෙම අවස්ථාව ලබාදුන් අතර එම අවස්ථාවේදී මණ්ඩලය පෙන්වාදුන්නේ අදානි සමූහයෙන් ප්‍රතිචාරයක් ලැබීමෙන් පසු බලශක්ති මිලදී ගැනීමේ මිල තීරණය කරන බවයි.

කෙසේවෙතත්, ඒකක මිල සම්බන්ධයෙන් දෙපාර්ශ්වය තවමත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වේ.

මෙසේ තිබියදී, මෙගාවොට් 700ක සූර්ය බලශක්තිය සඳහා සැළකිව යුතු ආයෝජනයක් උතුරු කලාපයේ පූනකරි ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

2026 වන විට නිමකිරීමට නියමිත පූනකරි ව්‍යාපෘතිය, අදානි විසින් ඉදිකරනු ලබන සම්ප්‍රේෂණ මාර්ගයම භාවිත කිරීමට අපේක්ෂා කරයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, අදානි ව්‍යාපෘතියේ ප්‍රගතිය පූනකරි සංවර්ධනයට ද බලපෑ හැකි බැවින්, එහි ප්‍රගතිය පූනකරි සඳහා ද සමාන වැදගත්කමක් මතුකර තිබේ.

අදානිගේ යෝජිත මෙගාවොට් 500 සුළං සහ සූර්ය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් දැනට ක්‍රියාවට නංවා ඇති එකම මහා පරිමාණ ආයෝජනය වේ.

ඩොලර් මිලියන 442ක වටිනාකමකින් යුත් මෙම ආයෝජනයේ මූලිකත්වය Adani Green Energy Ltd. විසින් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං සහ සූර්ය තාක්‍ෂණයන් ඇතුළත් වන පරිදි මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති බලාගාර පිහිටුවීම ඉලක්ක කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල මණ්ඩල සභාපති නලින්ද ඉලංගකෝන් පැවසුවේ ව්‍යාපෘතිය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඒකක මිල සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹ නොමැති බවත්ය.

අදානි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අවසන් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ,ඉංජිනේරු රංජිත් සේපාල ද පැවසුවේය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව සුළං සහ සූර්ය බලාගාර පිහිටුවීම සඳහා Adani Green Energy Ltd. සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් මාස කිහිපයකට පසු, ව්‍යාපෘතියේ තාක්ෂණික, ආර්ථික සහ පාරිසරික ශක්‍යතා තෘප්තිමත් කරමින්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරි පනතේ 16 සහ 17 වගන්ති යටතේ Adani Green Energy Ltd. වෙත අධිකාරිය විසින් තාවකාලික අනුමැතිය නිකුත් කරන ලදී.

2022 ඔක්තෝබර් 18 දිනැති ලිපියක් මගින් විදුලිබල මණ්ඩල සභාපති ඉලංගකෝන් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා තිබුණේ මණ්ඩලය Adani Green Energy Ltd. වෙතින් බලශක්තිය මිලදී ගැනීම සඳහා නිශ්චිත කැබිනට් අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවයි.

මෙම ඉල්ලීම ශ්‍රී ලංකා විදුලිබල පනත මත පදනම් වී ඇති අතර එම ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස ඉලංගකෝන් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබිණි.

මීට අමතරව, මෙගාවොට් 500ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම සහ යෝජනා ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කරන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටියේය.

අවම පිරිවැයකින් විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නීතිරීති හා මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා විදුලි ප්‍රසම්පාදන නීතිවලට අනුකූලව ව්‍යාපෘති කමිටුවට මඟපෙන්වීම සහ අදාළ කරුණු අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය අවධාරණය කර තිබිණි.

අවසාන පියවර වන්නේ මාස 12ක් ඇතුළත Adani Green Energy Ltd. විසින් ඉල්ලන ලද ලේඛන නියමිත වේලාවට ඉදිරිපත් කිරීම මත පදනම්ව, සුනිත්‍ය බලශක්ති අධිකාරි පනතේ 18 වැනි වගන්තිය යටතේ තාවකාලික අනුමැතිය බලශක්ති බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමයි.

ව්‍යාපෘති ප්‍රමාදයන් පිළිබඳ ප්‍රකාශ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගියදා ප්‍රතික්ෂේප කළ අතර ව්‍යාපෘතිය ඇගයීමට පත්කරන ලද කමිටුවක් සඳහා තාක්ෂණික විශේෂඥයන් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව තහවුරු කළේය.

ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි, මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 500ක සූර්ය හා සුළං බල ව්‍යාපෘතිය 2025 ජනවාරි මාසය වන විට අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත.

කෙසේවෙතත්, විදුලිබල මණ්ඩලයේ විශේෂඥයකු ඇමැතිවරයාගේ ප්‍රකාශයට පටහැනි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, ව්‍යාපෘතිය දැනටමත් එහි මූලික කාලසටහනට වඩා පිටුපසින් ඇති බැවින් ලබන වසර අවසන් වන විට එය අවසන් කිරීමට අපහසු බවයි.

විදුලිබල මණ්ඩලයේ තවත් ඉංජිනේරුවකු පැවසුවේ ඉදිරි මාසවලදී ව්‍යාපෘතිය කඩිනම් නොකළහොත් ඇමැතිවරයාගේ අපේක්ෂාව පරිදි ලබන වසර අවසානය වන විට එය නිම කිරීමේ හැකියාවක් නොමැති බවයි.

එපමණක් නොව, භෞතික මෙහෙයුම් දියත් කිරීමට පවා දිනයක් තවමත් නියමකර නොමැති අතර, ඒකක මිල සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය එකඟවීමට අපොහොසත් වී ඇති බවත් වාර්තා වේ.(The Morning)

42.31%
17.27%
32.76%