February 15, 2025

ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට අයත් Adani Green Energy සමාගම ආරම්භ කිරීමට සූදානමින් සිටි සුළං බලශක්ති ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට පෙරේදා වාර්තා වුවද එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අක්‍රිය නොවන බවට ඉඟි පළවේ.

Daily Mirror පුවත්පත වාර්තා කරන්නේ, ඉන්දීය පාර්ශවය සහ මෙරට රජය ලබන සතියේ තවත් සාකච්ඡාවකට එළඹීමට තීරණය කර ඇති බවයි.

මන්නාරමේ සුළං බලශක්ති ව්‍යාපෘතිය සහ රට තුළ තවත් සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්‍යෝන්‍ය තීරණයකට එළැඹිය හැකිදැයි සොයාබැලීමට දෙපාර්ශ්වයම ලබන සතියේ රැස්වී සාකච්ඡා කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව තතුදත් ආරංචි මාර්ග උපුටා දක්වමින් Daily Mirror පුවත්පත වාර්තා කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදානි සමාගම දැනටමත් පසුගිය රජය සමඟ සාකච්ඡා වට 14 ක් පවත්වා ඇති නමුත් අනුමැතියක් ලබාගැනීම ප්‍රමාදවීම පිළිබඳව කණස්සල්ල පළකර ව්‍යාපෘතියෙන් ඉවත්වන බව පැවසීය.

කෙසේවෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු ඉන්දීය නිලධාරීන්ට දන්වා ඇත්තේ Adani ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම රජය කැමැත්තෙන් පසුවන නමුත් සමාගම ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීමට සිදු වූ බවයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබිණි.