December 30, 2024

විවිධ විෂමාචාරවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශනය කර නිසි පියවර ගැනීමට අදාළ නිලධාරීන්ට පූර්ණ බලය ලබාදී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් වැටුප් ලබන ඇතැම් පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

එවැනි පොලිස් නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි චෝදනා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පොලිස් නිලධාරීන් 30-40 අතර ප්‍රමාණයකගේ වැඩ තහනම් කර ඇති බවයි.

පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කළ විට එම වැඩ තහනම් කිරීමට හේතු ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කළ යුතු බවත්, එම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

විෂමාචාරවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශනය කර ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීම සඳහා අදාළ නිලධාරීන්ට පූර්ණ බලය ලබාදී ඇති බව ඇමැතිවරයා සඳහන් කර තිබේ.

උදාහරණයක් වශයෙන්, එවැනි ක්‍රියාවන්හි යෙදී සිටින ස්ථානාධිපතිවරුන් (OIC) වෙනුවට වෙනත් අය ආදේශ කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

අල්ලස්, දූෂණ සහ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් ගත් කල, එය සිදු කරන්නේ රාජ්‍ය සේවකයකුද සාමාන්‍ය පුද්ගලයකුද යන්න ගැටලුවක් නොවන බවත්
දේශපාලනඥයන් ලෙස ඒ සඳහා මැදිහත් නොවන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකදී වටගල ප්‍රකාශ කර තිබුණේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

ඇතැම් පොලිස් නිලධාරීන් මෙම කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා බවට ද ඔහු චෝදනා කළේය.

42.31%
17.27%
32.76%