October 8, 2024

පාස්කු ප්‍රහාරයේ සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනාගෙන එම බලපත්‍ර තහනම් කර තිබූ නමුත් කෙටි කාලයකදී නැවත ඔවුන්ට එම බලපත්‍ර ලබාදී තිබූ බව සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ සභාපති සූර්ය කුමාර විජේරත්න ඊයේ (07දා) පැවැසීය.

පුපුරන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, බෙදාහැරීමේදී සහ බලපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව ඇතැයි කී සභාපතිවරයා ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න සුදුසුකම් පරික්ෂා නොකර පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර ඔහුගේ හා දේශපාලනඥයන්ගේ හිතවතුන්ට නිකුත් කර ඇතැයි සඳහන් කළේය.

පසුගිය රජය සමයේ පුපුරන ද්‍රව්‍ය අලෙවි කිරීමට බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති වංචා සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත්කර පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

හිටපු ලේකම්වරයා නිකුත් කළ බලපත්‍රවලට අදාළව මහනුවර සහ මහව ප්‍රදේශවල මේ වනවිට ගබඩා ඉදිකෙරෙමින් පවතින බවත්, නුසුදුසු පුද්ගලයන්ට මෙම බලපත්‍ර ලබාදී ඇති බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද ඊට අවස්ථාව ලබානොදුන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදය මහනුවර පේරාදෙණිය තානායමේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සූර්ය කුමාර විජේරත්න මේ බව කීය.

මෙම ගැටලුව ජනමාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි වාතාවරණයක් පසුගිය කාලයේ රටේ පැවැති බවත්, එසේ ආරක්ෂක ලේකම්වරයාට හෝ රජයේ ඇමැතිවරයකු ප්‍රසිද්ධියේ චෝදනා කළේ නම් තම බලපත්‍ර අහෝසි කිරීමට ඉඩ තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

වංචා හා දූෂණ පිටුදැකීමට උත්සාහ කරමින් සිටින වත්මන් ජනාධිපතිවරයා යටතේ සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ ගැටලුවලට විසදුමක් ලැබෙතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.(මව්බිම)

42.31%
17.27%
32.76%