42.31%
17.27%
32.76%
October 17, 2023

ඉන්දු – ලංකා විදුලිබල පද්ධතිය සම්බන්ධ වන ස්ථානය ලෙස මන්නාරම ප්‍රකාශ වී තිබුණ ද එය තවමත් දෙරටේ ආණ්ඩු විසින් නිල වශයෙන් ප්‍රකාශයට පතකර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් පෙන්වා දී තිබේ.

අදාළ යෝජනාවට උතුරු පළාත නියෝජනය කරන කිසිදු දෙමළ පක්ෂයක් පාර්ලිමේන්තුවේ විරෝධය පළකර නොතිබිණි.

දෙරට අතර යෝජිත විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සම්බන්ධක ස්ථාන ලෙස ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදශයේ පිහිටි මන්නාරම සහ ඉන්දියාවේ දකුණු ප්‍රදශයේ පිහිටි මදුරෙයි හඳුනාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළකර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් පවසන්නේ වරාය, නාවික සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් කිහිපදෙනකු මන්නාරමට පැමිණ සාකච්ඡා කර ඇති නමුත්, මන්නාරම සම්බන්ධක ස්ථානයක් ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් සාමූහික තීරණයක් ගෙන නොමැති බවත්, එසේම ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විරෝධතාවක් ඉදිරිපත්කර නොමැති බවත් ඔහු සඳහන් කරයි.

රජයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් මේ පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, එහිදී උතුරේ දේශපාලන පක්ෂවලට මෙම යෝජනාව පිළිබඳව වැඩදුර සාකච්ඡා කිරීමට සහ එහි වාසි අවාසි පිළිබඳ අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

විදුලිබල පද්ධති සම්බන්ධතාව පිළිබඳ යෝජනාව පැමිණෙන්නේ 2003 තරම් ඈත කාලයක සිට වුව ද සැබෑ ලෙසම එහි කටයුතු සිදුකර ඇත්තේ මෑතකදී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය නිමවීමෙන් පසු මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට හඳුනාගෙන ඇති සම්බන්ධක ස්ථාන පසුව වෙනස් නොකළහොත් යෝජිත විදුලි රැහැනේ මුළු දුර කිලෝමීටර් 280-300ක් වනු ඇත.(The Morning)

42.31%
17.27%
32.76%