February 26, 2024

මුහුණු පොත හරහා කැලයක් මැද හෝටලයක සංවිධානය කෙරුණු විනෝද සාදයක් අතරතුරදී රෝගී වී දඹුල්ල මහා නගර සභාවේ තරුණ සේවකයකු පෙරේදා (24) මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ සම්පත් විජයතුංග නැමැති 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

දඹුල්ල කන්ඩලම මහා වන මැද හෝටලයක මෙම සාදය සංවිධානය කර තිබූ බව කියති.

පොහෝ දින රාත්‍රී සිට පසුදා වනතුරුම සාදය පවත්වා ඇතැයි පොලිසිය කියයි.

රෝගී වූ පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් දඹුල්ලේ මෙම හෝටලයට ගොස් ස්ථාන පරීක්ෂණය කර ඇත.

සාදයේදී විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තොරතුරු ද හෙළි වී යැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය තරුණයාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී පැවැත්වීමට නියමිතය.

මුහුණු පොත හරහා සංවිධානය කර තිබුණු මෙම සාදයට ඇතුළුවීම සඳහා රුපියල් 5000ක ප්‍රවේශපත්‍රයක් නිකුත් කර ඇත.

දඹුල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%