September 20, 2024

ලෙබනනයේ තිබෙන හදිසි තත්ත්වය හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරක්ෂිත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා දූත මණ්ඩලය මෙම හදිසි අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ පේජර් සහ වෝකිටෝකි ආශ්‍රිතව සිදු වූ පිපිරීම්වලින් පසුය.

එම පිපිරුම් හේතුවෙන් සැළකිව යුතු පිරිසක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් ලෙබනනයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවූයේ ජනාකීර්ණ ස්ථාන, පොදු උත්සව සහ දිගු දුර සංචාරවල නිරතවීමෙන් තාවකාලිකව වළකින ලෙසයි.

මෙම කාලසීමාව තුළ සන්නිවේදන ආශ්‍රිත උපකරණ භාවිතය හැකිතාක් අවම කරන ලෙසද ශ්‍රී ලංකා දූත මණ්ඩලය ශ්‍රී ලාංකිකයන්ට අනතුරු අඟවා ඇත.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහාය වීම සඳහා හදිසි දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී ඇත.