January 18, 2024

පාසල් අවට මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමේ අරමුණින් සහ පාසල් පරිශ්‍ර සහ අවට පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් පොලිස් දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ පිටුදැකීමේ අරමුණින්ක්‍රියාත්මක ‘යුක්තිය’ දීපව්‍යාප්ත මෙහෙයුමට සමගාමීව මෙම වැඩසටහන යෝජනා කර තිබේ.

එහි මූලික කටයුතු අරඹන ලෙස පොලිසියට උපදෙස් දෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පසුගිය සතියේ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව වාර්තා විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ,නීතීඥ නිහාල් තල්දූව කියා සිටියේ සෑම පොලිස් වසමකම හඳුනාගෙන ඇති සෑම පාසලක්ම සම්බන්ධ කර ගනිමින් ‘පවුර’ නමින් ප්‍රජා සංසදයක් ආරම්භ කිරීමට නියමිත බවයි.

වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව එම සංසදයේ මුලසුන පාසලේ විදුහල්පතිවරයා විසින් දරනු ලබන අතර සංසදය ගුරුවරුන්, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්, ළඟම ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන්,අදාළ ප්‍රදේශවල කීර්තිමත් පුරවැසියන් සහ වෙනත් සාමාජිකයන්ගෙන් සමන්විත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පාසල් පරිශ්‍රය තුළ මෙන්ම ඉන් පිටත ද ප්‍රජාවගේ උපරිම සහයෝගය ලබාගැනීම මෙම සංසදයේ අරමුණ බව ද ඔහු පැවසීය.

මෙම වැඩපිළිවෙළ තුළින් පාසල් අවට මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා ප්‍රජාවගේ උපරිම සහයෝගය ගැනීමට හැකිවන බවත්  දරුවන් සිටින ස්ථානය කුමක් වුවත් ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ඉවහල් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“තනි පුද්ගලයකුට මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නවලට එරෙහිව සටන් කරන්න බැහැ. ගුරුවරුන්ට සහ පොලිස් නිලධාරීන්ටත් එය තනිවම කරන්න බැරි බව අපට පේනවා. අපට සමාජයේ සහයෝගය අවශ්‍යයි. මෙවැනි සංසද පිහිටුවීමෙන් අපි ප්‍රජා සහයෝගය ලබා ගන්න බලාපොරොත්තු වනවා වගේම දරුවන් මෙම උවදුරෙන් ගලවා ගත හැකි ශක්තිමත් ජාලයක් ගොඩනැංවීමට අපි බලාපොරොත්තු වනවා, ”ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%