March 24, 2025

ලාංකිකයන් ඇතුළු බහරේනයට ඇතුළු වන සියලුම විදේශීය ශ්‍රමිකයන් සඳහා මෙනින්ගොකොකල් රෝගය වෙනුවෙන්(meningococcal) එන්නත අනිවාර්ය බව බහරේන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

මෙම තීරණය බහරේනයේ සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් තුළ මෙනින්ගොකොකල් රෝගය පැතිරීම වැළැක්වීමේ පුළුල් වැඩසටහනක කොටසක් බව පැවසේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් බහරේනයට යෑමට සූදානම් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා එන්නත් වැඩසටහන් සංවිධානය කෙරේ.

මෙම පියවර බහරේනය සමඟ එක්ව මෙනින්ගොකොකල් රෝගය පාලනය කිරීම සඳහා ප්‍රතිශක්තිකරණය පිළිබඳ වැඩසටහනක් බව ද ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය අවධාරණය කරයි.

මෙනින්ගොකොකල් රෝගය යනු Neisseria meningitidis මගින් ඇතිවන බරපතල බැක්ටීරියා ආසාදනයක් වන අතර, එය මගින් මෙනින්ජයිටිස් සහ meningococcemia වැනි තත්වයන් ඇති විය හැක.

ප්‍රතිකාර නොකළහොත්, මෙම රෝගයේ ඉහළ මරණ අනුපාතයක් ඇති නමුත්, එම තත්ත්වය එන්නත් කිරීම හරහා ඵලදායී ලෙස වළක්වා ගත හැකිය.

සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපාන මෙනින්ජයිටිස් ලොව පුරා රෝගාබාධ, මරණය සහ දිගුකාලීන ආබාධිතභාවය සඳහා සැලකිය යුතු හේතුවක් ලෙස පවතී.

විශේෂයෙන් විශාල සංක්‍රමණික සේවක ජනගහනයක් සිටින ප්‍රදේශවල, රෝගය පැතිරීම අවම කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ක්‍රමෝපායේ තීරණාත්මක කොටසක් ලෙස ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය මාර්ගෝපදේශ මගින් මෙනින්ගොකොකල් එන්නත නිර්දේශ කරයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම නව එන්නත් අවශ්‍යතාවය කම්කරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ ඇතිවිය හැකි රෝග පැතිරීම වැළැක්වීමේ පුළුල් මහජන සෞඛ්‍ය ඉලක්ක කර ගනිමින් සිදුකෙරේ.

රැකියා අවස්ථා සඳහා සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර, බහරේනය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩිවශයෙන් රැකියා සඳහා යොමුවන රටක් ලෙස සැළකෙයි.

2024 දී පමණක්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4,000 කට වැඩි පිරිසක් බහරේනයේ රජයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.