November 2, 2023

මෙරට ඉතිරිව ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් සියයට 80කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් වසංගතය දැඩි ලෙස බලපානු ලැබූ බවත්, සියයට 89කට 2022 මුදල් අර්බුදය බලපා ඇති බවත් අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ප්‍රකාශයකින් කියැවුණේ සංචාරක, නිෂ්පාදන, ඉදිකිරීම්, ප්‍රවාහන හා ගබඩා, තොග සහ සිල්ලර වෙළඳාම සහ අනෙකුත් සේවා අංශවල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් විශේෂයෙන් බලපෑමට ලක්ව ඇති බවයි.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ අතිමහත් බහුතරයකට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයට සහාය දැක්වීම සඳහා කැප වූ ආයතනවලින් උපකාර ලැබී නොමැති අතර, ඒ වෙනුවට සිදුව ඇත්තේ තමන්ටම අරගල කිරීමට සිදුවීම හෝ ව්‍යාපාර වසාදැමීමට සිදුවීම බව සොයාගෙන ඇත.

‘ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් කෙරෙහි බහු අර්බුදවල බලපෑම’ යන මැයෙන් එම අධ්‍යයනය පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 07 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

“ දැනට පවත්වාගෙන යන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ව්‍යාපාර මෙහෙයුම් සඳහා ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සහ ශ්‍රමය ලබා ගැනීමේ හැකියාව මත ඔවුන්ගේ මෙහෙයුම් සකස්කිරීම වැනි වඩාත් කඩිසර යාන්ත්‍රණයන් අනුගමනය කර තිබෙනවා. එසේම, අධ්‍යයනය මගින් ව්‍යවසායක දිශානතිය, තාක්‍ෂණික අනුවර්තනය, සාධක ආදේශනය, නාස්තිය අවම කිරීම සහ නව වෙළඳපොළවල් සෙවීම මූලික ඔරොත්තු දීමේ සාධක ලෙස හඳුනාගෙන තිබෙනවා,” යැයි අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසයි.

අන්තර්ජාතික කම්කරු සංවිධානය විසින් සිය නිර්දේශයන් තුළ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වර්ධනයට පහසුකම් සැලසීම සඳහා ප්‍රධාන ක්‍රියාකාරී ක්ෂේත්‍ර 12ක් ඉස්මතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රකෘතිය කෙරෙහි පුළුල් බලපෑමක් ඇති කරන අතර එම ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව එම සංවිධානය පවසයි.

හිතකර සාර්ව ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හා සම්බන්ධ ශ්‍රම වෙළඳපොළ බලපෑම් නිරීක්ෂණය කිරීම සහ දේශීය හා විදේශීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශය වැඩි කරන අතරම බලශක්ති සහ උපයෝගිතා පිරිවැය පාලනය කිරීම සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමද මෙයට ඇතුළත්ය.

මෙය , අන්තර්ජාතික කම්කරු සංවිධානය සහ නීල්සන්අයිකිව් (NielsenIQ) විසින් දිස්ත්‍රික්ක 10ක් පුරා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 550කට අධික සංඛ්‍යාවක සමීක්ෂණ සහ රජයේ නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සම්මුඛ සාකච්ඡා ඇතුළත් විශ්ලේෂණවල ප්‍රතිඵලයක් බව එම සංවිධානය පවසයි.

 

42.31%
17.27%
32.76%