January 27, 2024

සෞදි අරාබියේ වසර 70කට පසුව මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබේ.

පසුගිය 24 වැනිදා විවෘත කළ මේ මත්පැන් අලෙවිසැල, මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණක් වෙන්කර තැබේ.

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ Vision 2030 වැඩසටහන යටතේ සෞදි සමාජය ලිබරල් කිරීම සඳහා වන වැඩපිළිවෙළට සමගාමීව මෙම මත්පැන් අලෙවිසැල විවෘත කර ඇත.

වි‍දෙස් ජනමාධ්‍ය සඳහන් කරන ආකාරයට, 1950 වසරේ දී පමණ සෞදි අරාබියේ මත්පැන් වෙළඳාම තහනම් කර තිබේ.

ඒ, එවකට රාජ්‍යත්වය දැරූ අබ්දුල්ලාසීස් රජු විසිනි.

අබ්දුල්ලාසීස් රජුගේ පුත්‍රයකු බීමතින් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයකු වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසු ඔහු එම තීරණය ගෙන තිබුණු බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙහි සේවාව ලබාගන්නේ නම්, ඔවුන් ඊට ලියාපදිංචි වී රජයෙන් අවසර ලබා ගත යුතුව තිබෙන අතර, රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද නොමැති , මධ්‍යසාර සඳහා ප්‍රවේශයක් නොමැති අයට මෙහි මධ්‍යසාර පානයට අවසර හිමි නොවේ.

මේ අතර , අවුරුදු 21ට අඩු කිසිවකුට මෙම මත්පැන් අලෙවිසැලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවද වි‍දෙස් ජනමාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් විදෙස් ජනමාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, මෙහිදී මත්පැන් පානය කරන්නන් ඔවුන් පානය කරන ස්ථානය සහ පසුව හැසිරෙන ආකාරය ගැන සැළකිලිමත් වීම වැදගත් වන බවයි.

ඒ, වත්මන් සෞදි නීතියට අනුව, මත්පැන් පානය කිරීමට හෝ ළඟ තබාගැනීමට සෞදි රජය විසින් සිරගත කිරීම, ප්‍රසිද්ධියේ කසපහර දීම සහ පිටුවහල් කිරීම මෙන්ම දඩ නියම කිරිම වැනි දඩුවම් ලබා දෙන බැවිනි.(News 1st)