September 14, 2024

සිම්බාබ්වේහි දී මේ මස 21 වැනිදා ආරම්භ වන අන්තර්ජාතික T10 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩක ජනිෂ්ක පෙරේරා විදේශ ගමන් බලපත්‍රය ගැනීමට බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ඊයේ (13) ගිය අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා ඔහුට පහත් ලෙස බැණවැදී එලවා දමා ඇතැයි වාර්තා වේ.

එම ක්‍රීඩකයා විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා එහි ගොස් තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන ද රැගෙන යැයි පැවසේ.

ජනිෂ්ක පෙරේරා එම තරගාවලියට සහභාගී වීම සඳහා මේ මස 17 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ දිනයක් සහ වේලාවක් වෙන් කිරීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ නොහැකි බවයි.

කෙසේවෙතත් මෙම ක්‍රීඩකයා සම්බන්ධ ගැටලුව පිළිබඳ අවධානය යොමු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පවසා ඇත්තේ එම ක්‍රීඩකයා ද විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට දිනයක් වෙන්කර ගතයුතු බවයි.

වෙනත් කිසිදු ක්‍රමයකින් විදේශ ගමන් බල පත්‍රයක් ගත නොහැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා ඊයේ පස්වරු 1.00ට පමණ එම ක්‍රිකට් ක්‍රීඩකයාට විදේශ ගමන් බලපත්‍රයක් හදිසියේ නිකුත් කිරීමට අත්සන් කර ඇති බව දැනගන්නට තිබේ.