May 7, 2024

මියගිය පාතාල කණ්ඩායම් නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් මාකොළ සුද්දා නැමැත්තා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදි ඔහු පැමිණි මෝටර් රථයෙන් විශේෂ කාර්ය බලකායෙ නිලධාරියකු ද අනතුරකට ලක්කර පළා යද්දි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා මෙම අත්අඩංගුවට සිදුකර තිබේ.

ඔහු සන්තකයේ තිබී රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගැනීමට හැකි වී ඇත.

මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්දනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය මෙම වැටලීම සිදුකර තිබිණි.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කඩවත පොලිස් වසමේ කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසලදී සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටළඟ පොදු වෙළද සංකිර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසලදී වැටලීම් සිදුකර ඇත.

එහිදී බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසලදී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බලකා නිලධාරියකු අනතුරට ලක්කර එම මෝටර් රථය පළායෑමට උත්සාහ කර ඇති අතර රථය එකවරම පිටුපසට ගැනිමේදී මෝටර් රථයේ පිටුපස කොටස ගැටීමෙන් සිදු වූ හානි සමග ඔවුන් අධිවෙි⁣ගී මාර්ගයේ විශේෂ සේවා දොරටුවෙන් පළායෑමට උත්සාහකර ඇත.

එහිදි පිටුපස ටයරයේ හුලං බැසයෑමෙන් ධාවනය කිරීමට අපහසු වීම නිසා සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවයද්දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැකකරු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැකකරු පැමිණි මෝටර් රථයේ තිබී අයිස් ග්‍රෑම්10යි මිලිග්‍රෑම් 650ක ප්‍රමාණයක් ද සොයා ගත් අතර ඔහුගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටළඟ පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසලදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු වූ දැනට මියගොස් සිටින සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් යන අයගේ කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ලද පුද්ගලයකු ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 680ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් වයස අවුරුදු 36ක් හා අවුරුදු 31ක් වන පුද්ගලයන් දෙදෙනෙකු වන අතර මොවුන් සන්තකයේ තිබී ජාවාරමින් උපයා ගන්නා ලද බවට් සැකකරන රුපියල් 8,400.00ක් හා ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 05ක් හා මුදල් ගනුදෙනු සටහන් පොතක්ද සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

42.31%
17.27%
32.76%